දිනසේන රතුගමගේ –
යාපනයේ කයිට්ස් මෙලින්ජිමුනායි නාරායම්පති මාතා පල්ලියේ ඉදිකොට තිබූ කන්යා මරියතුමියගේ ප්රතිමාව කඩා දැමීමේ සිද්ධියට අත් අඩංගුවට ගෙන සිටි ජාතික ජන බලවේගයේ කයිට්ස් ප්රධාන සංවිධායකවරයා ඇතුලු සැකකරුවන් අට දෙනා අගෝස්තු මස 11 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කයිට්ස් මහේස්ත්රාත්වරයා නියෝග කොට තිබේ.
සැකකරුවන් පිරිස 28 දා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලැබී තිබේ.
පසුගිය ජූලි 26 වෙනිදා ජාතික ජනබලවේගයේ ප්රධාන සංවිධායකවරයා ඇතුලු පිරිසක් බීමත්ව පැමිණ මෙම ප්රතිමාවට හානි කළ බවට දේවස්ථානයේ බාරකාර පියතුමන් කයිට්ස් පොලීසියට කරණ ලද පැමිණිල්ලක් මත ඔවුන්ව අත් අඩංගුවට ගෙන තිබුණි.
පසුව කළ සෝදීසියකදී හිස් මත්පැන් බෝතල් කීපයක්ද දේවස්ථානයට යාබද ඉඩමෙන් පොලීසිය විසින් සොයා ගෙන තිබුණි.
අත් අඩංගුවට පත් වූ පිරිස වරද පිළිගෙන ඔවුන්ව අධිකරණය හමුවට ඉදිරිපත් නොකරණ ලෙස පොලීසියෙන් ඉල්ලා සිටි නමුත් ප්රතිමාවට හා දේවස්ථානයට සිදුව ඇති අලාභය රුපියල් මිලියන 5 කට වඩා වැඩි නිසා දේවස්ථානයේ බාරකාර පියතුමන් සිද්ධිය සමථයකට පත් කර ගැනීමට අකැමති වීමෙන් ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබේ.
සිද්ධිය වූ දිනයේ සවස විශාල පිරිසක් එම දේවස්ථානයට යාබදව පිහිටි ස්ථානයක මත්පැන් සාදයක් පවත්වා තිබේ.
අනතුරුව කෑ කෝ ගසමින් අශෝභන ලෙස හැසිරීම නිසා දේවස්ථානයේ පූජකවරු එම පිරිසට සාදය පැවැත්වූ තැනින් ඉවත්ව යන ලෙස කාරුණිකව ඉල්ලීමක් කොට තිබේ.
මේ අවස්ථාවේදී ඔවුන් පූජකවරුන් සමග ගැටුමක් ඇති කරගෙන රාත්රියේ පැමිණ ඉන්දියාවෙන් ගෙනැවිත් ස්ථාපිත කොට තිබූ කන්යා මරියතුමියගේ ප්රතිමාවට හානි සිදු කොට දේවස්ථානයේ තවත් දේපලවලට අලාභ හානි සිදූ කොට තිබේ.
කයිට්ස් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







