අපේ රටේ පැරණිතම දෙපාර්තමේන්තු කිහිපය අතර ඉහළින්ම ඇති ආයතනයක් වන්නේ පොලීසියයි. වසර 159ක ඉතිහාසයකට මේ වන විට පොලීසිය උරුමකම් කියයි. මේ වසර 159ක කාලය තුළ පොලීසියට නායකත්වය දුන් පොලිස්පතිවරු ගණන 36කි. ඒ අය අතර කීර්තිමත් මෙන්ම අපකීර්තිමත්ම පොලිස්පතිවරුද වූහ. මේ දෙකේ සංකලනයක් වූ පොලිස්පතිවරු ද ඉතිහාසයේ උන්හ.
ඒ අතරින් මේ දිනවල වඩාත්ම කතා බහකට මෙන්ම සමාජයේ අවධානයට ලක්ව සිටින්නේ දේශබන්දු තෙන්නකෝන්ය. ඔහු ශ්‍රී ලංකා පොලීසියේ 36 වැනි පොලිස්පතිවරයාය. දේශපාලන ආශීර්වාදයෙන් පොලිස්පති ධුරයට ඔහු පත්වන්නේ 2024 වසරේ පෙබරවාරි 26 වැනිදාය. ඒ 2023 වසරේ සැප්තැම්බර් 23 වැනිදා 35 වැනි පොලිස්පති ලෙස සේවයේ නිරතව සිටි සී.ඩී. වික්‍රමරත්න පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගැනීමත් සමඟ ඇතිවන පුරප්පාඩුවටය. සී.ඩී. විශ්‍රාම යාමත් සමඟ 2023 වසරේ සැප්තැම්බර් 29 වැනිදා සිට 2024 වසරේ පෙබරවාරි 26 වැනිදා දක්වා වැඩ බලන පොලිස්පති ලෙස එකල කටයුතු කරනු ලැබුවේද දේශබන්දු තෙන්නකෝන් ය.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් ද ඇත්තේ විවාදාත්මක තත්ත්වයකි. ඒ ඔහුගේ නම පොලිස්පති ධුරයට සුදුසු බවට ව්‍යවස්ථා සභාව නිර්දේශ කළ ආකාරයත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරය පිරිනැමීමත් සම්බන්ධයෙනි. ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද මේ වන විට විභාග වෙමින් ඇත්තේය. ඒ දේශබන්දු පොලිස්පති ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් අභියෝගයට ලක්කරමිනි.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්වුවත් එම නඩුව හේතුවෙන් ඔහුට පොලිස්පති ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව ලැබෙන්නේ මාස 05ක් වැනි කෙටි කාලයක් පමණි. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පති ධුරයේ බලතල ක්‍රියාත්මක කිරීම, පොලිස්පති ධුරයේ රාජකාරි ඉටුකිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් 2024 ජූලි 24 වැනිදා ලබාදුන් බැවිණි. ඉතිහාසයේ මෙවැනි අධිකරණ නියෝගයක් පොලිස්පතිවරයෙකුට ලැබී ඇත්නම් ඒ දේශබන්දුට පමණි.
අධිකරණයේ නියෝගයකින් දේශබන්දුට පොලිස්පතිවරයාගේ රාජකාරි කටයුතු කිරීම අත්හිටුවීමෙන් අනතුරුව එම කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට වැඩ බැලීමට පොලිස්පතිවරයෙක් පත්කරනු ලබන්නේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ය. ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය 2024 වසරේ සැප්තැම්බර් 27 වැනිදා පත්කරමිනි.
ප්‍රියන්ත වීරසූරිය වැඩබලන පොලිස්පතිවරයා වන්නේ විකෘතියක් වූ දූෂිත පොලිසියකය. ඊට වගකිව යුතු අය අතර දේශබන්දු තෙන්නකෝන්ගේ නාමයද ඇත්තේ ඉහළිනි. මේ නිසාම දේශබන්දු තෙන්නකෝන් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ ලෙස අනිසි අයුරින් යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත මත කමිටුවක්ද පත්කරනු ලැබීය. ඒ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස්පතිවරයෙක් එක පෑන් පහරින් ඉවත් කිරීමට අතීතයේ පැවති බලය අද වන විට ජනාධිපතිවරයාට නොමැති වූ බැවිනි. පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යවා ඔහු විශ්‍රාම යන තුරු බලා සිටීමට සිදුවූයේද මේ නිසාය.
කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව දේශබන්දු තෙන්නකෝන්, පූජිත් ජයසුන්දර මෙන් තනතුරේ තවදුරටත් තබා ගෙන සිටීමට සූදානම් වූයේ නැත. ඒ සඳහා වසර 06ක් බලා සිටීමට සිදුවනු ඇති බැවිනි. ඒ දේශබන්දු තෙන්නකෝන් ට අවුරුදු 60 පනින්නේ 2031 වසරේ මාර්තු 07 වැනිදා නිසාය.
මෙරට ඉතිහාසයේ පොලිස්පතිවරයකු සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කරන පළමු පාර්ලිමේන්තු කමිටුව මෙය වීම විශේෂිතය. මෙම කමිටුව විසින් දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශනයක් සිදුකරනු ලැබීය. ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් එහිදී කමිටුවේ අවධානයට යොමුවිය. හැම පැත්තක්ම ආවරණය වන පරිදි කළ විමර්ශනයේ අවසාන ප්‍රතිඵලය කථානායක වෙත කමිටුව විසින් භාරදී අවසන්ය.
ඒ අනුව දැන් ඉතිරිව ඇත්තේ පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් විවාදයක් පවත්වා දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් නෙරපා හරින්නට මන්ත්‍රීවරු බහුතරයකගේ යෝජනා සම්මතයකි. ඉන් පසු අප්‍රමාදව ඔහුව පොලිස්පති ධුරයෙන් පමණක් නොව, පොලිස් සේවයෙන්ම නෙරපා හරින ලෙස ජනාධිපතිවරයා දැනුම්වත් කළ යුතුය. එය එසේ සිදු වුවහොත් මෙරට ඉතිහාසයේ පළමු වරට පොලිස් සේවයෙන් නෙරපා හරින ලද පොලිස්පති නාමය වන්නේද දේශබන්දු තෙන්නකෝන්ය.
ප්‍රථම වරට අනිවාර්ය නිවාඩු යැවූ ප්‍රථම වරට හිරේ විංගුවේ වැටුන පොලිස්පතිවරයා
දේශබන්දුට පෙර 35 වැනි පොලිස්පති ලෙස සේවයේ නිරතව සිටි සී.ඩී. වික්‍රමරත්න ද පොලිස් ඉතිහාසයේ සුවිශේෂි කඩඉමක් පසුකළ නිලධාරියෙකි. ඒ ශ්‍රී ලංකා පොලීසියේ එතෙක් මෙතෙක් වැඩිම කාලයක් වැඩබලන පොලිස්පති ධුරය දරා ඇත්තේ ඔහු වන බැවිනි. තොරතුරු කල්තියා දැන සිටියද පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගන්නට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් දැඩිව චෝදනා එල්ල වෙමින් 34 වැනි පොලිස්පති ලෙස සේවයේ නිරතව සිටි පූජිත් ජයසුන්දර 2019 වසරේ ඔක්තෝබර් 11 වැනිදා අනිවාර්ය නිවාඩු යැවීමට එකල පැවති යහපාලන රජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගත්තේය. ඒ පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි කළ බලපෑම් කිසිවක් පූජිත් ජයසුන්දර නොතකමින් සිටි පසුබිමක් තුළය.
ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවුවේය. මෙය සැලකෙන්නේ පොලිස් ඉතිහාසයේ පොලිස්පතිවරයෙක් අනිවාර්ය නිවාඩු යැවූ පළමු අවස්ථාව ලෙසිනි. 2019 වසරේ අප්‍රේල් 29 වැනිදා අනිවාර්ය නිවාඩු යැවූ පූජිත් ජයසුන්දර 2019 වසරේ ඔක්තෝබර් 11 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටද ගත්තේය. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත ද විය. ඒ පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙනි. මේ අවස්ථාවද සැලකෙන්නේ පොලිස් ඉතිහාසයේ පොලිස්පතිවරයෙක් හිරේ විලංගුවේ වැටුණු පළමු අවස්ථාව ලෙසිනි.
අනිවාර්ය නිවාඩු යැවූ පූජිත් ජයසුන්දර වයස අවුරුදු 60 පැන විශ්‍රාම යන තුරු පොලිස්පති ධුරයෙන් හෝ පොලිස් සේවයෙන් නෙරපන්නට හෝ ඉවත් කිරීමට හැකියාවක් කිසිවෙකුටත් නොලැබිණි. ඒ අනුව 2020 වසරේ මාර්තු 14 වැනිදා විශ්‍රාම යන තුරුම 34 වැනි පොලිස්පති පූජිත්ය. එම කාලය පුරාම පොලිස්පති ධුරයේ වැඩ බලන්නට සිදුවූයේ එකල පොලිස් පරිපාලන අංශ ප්‍රධානියාව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට ය. 35 වැනි පොලිස්පති ලෙස ඔහුව පත්කෙරන්නේ පූජිත් ජයසුන්දර විශ්‍රාම ගැනීමෙනුත් මාස කිහිපයකට පසුවය. ඒ 2020 වසරේ සැප්තැම්බර් 27 වැනිදාය.
වයස අවුරුදු 60 සම්පූර්ණ වී 2023 වසරේ මාර්තු 25 වැනිදා සී.ඩි. වික්‍රමරත්න විශ්‍රාම ගැනීමත් සමඟ මාස තුනක කොන්ත්‍රාත් සේවා කාලයක් ඔහුට හිමිවන්නේ එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශීර්වාදයෙන් ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිවය. ඒ අනුව ඔහු ජූනි 25 වැනිදා එම මාස තුනක කාලය අවසන්ව ගෙදර ගියේය.
එහෙත් නැවතත් සති දෙකකට පසු ඔහුව තවත් කෙටි කාලයකට වැඩ බලන පොලිස්පති ධුරයට පත්කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පියවර ගත්තේය. එම කාලයද සම්පූර්ණ කර සී.ඩී. වික්‍රමරත්න පොලිස් සේවයට සමුදෙන්නේ 2023 වසරේ සැප්තැම්බර් 23 වැනිදාය.
සී.ඩී. පොලිස් ඉතිහාසයේ තවත් වාර්තාවකට උරුමකම් කියන්නේ පොලිස්පති ධුරය දරා විශ්‍රාම ගොස් සති දෙකකට පසු නැවත පොලිස්පති ධුරයට පත් කෙරුණු පළමු පොලිස්පතිවරයා ලෙසිනි.
මෑත ඉතිහාසයේ කීර්තිමත්ම පොලිස්පති –
පූජිත් ජයසුන්දරට පෙර පොලිස්පති ධුරය දරන්නේ එන්.කේ. ඉලංගකෝන් ය. 33 වන පොලිස්පතිවරයා වූ ඔහු පොලිස් සේවයේ මෑතක සිටි කීර්තිමත්ම පොලිස්පතිවරයාය. අදටත් ඔහුට ආදරය කරන පොලිස් නිලධාරීන් බොහෝය. දේශපාලනඥයන්ගේ අනීතික නියෝග හමුවේ කොන්ද කෙළින් තබා වැඩ කළ නිලධාරියෙක් වූ ඉලංගකෝන් පොලිස් ඉතිහාසයේ නම කියැවෙන තවත් සුවිශේෂි පොලිස්පතිවරයෙකි.
වසර 159ක පොලිස් ඉතිහාසය තුළ මෙවැනි සුවිශේෂි අවස්ථාවන්ට මුහුණ දී සිටින්නේ දේශබන්දු තෙන්නකෝන්, සී.ඩී. වික්‍රමරත්න, පූජිත් ජයසුන්දර වැනි පොලිස්පතිවරු පමණක් නොව, මෙරට ව්‍යවස්ථාපිත පොලිස් සේවය 1866 වසරේදී ස්ථාපිත වීමත් සමඟ පත්කෙරුණු පළමු පොලිස්පති ශ්‍රීමත් ජී.ඩබ්ලිව්.ආර්. කැම්බල්ගේ පටන් මෙතෙක් පොලිස්පති ධුරය දැරූ පොලිස්පතිවරු බොහොමයක් දෙනා විවිධ අර්බුදයන්ට ලක්ව ඇත්තේය.
ධූරය අත්හැර ගිය ප්‍රථම පොලිස්පති..
පොලිස් ඉතිහාසය පිරික්සීමේදී පළමුවරට මෙරට පොලිස්පතිවරයකුට සිය පොලිස්පති ධුරය අත්හැර යන්නට සිදුවන්නේ 1937 දීය. ඒ එතෙක් මෙතෙක් ඉතිහාසයේ වැඩිම කාලයක් පොලිස්පති ධුරය හොබවන ලද සුදු ජාතිකයෙක් වන එච්.එල්. ඩවුබිං ය. 1913 සිට 1937 දක්වා වසර 24ක් පොලිස්පති ධුරය දැරූ ඔහුට පොලිස්පති ධුරය අත්හැර මෙරටින්ද යන්නට සිදුවන්නේ වෙස්ක්‍රේටිව් සිද්ධිය මුල්කරගෙනය.
වෙස්ක්‍රේටිව් යනු ඔස්ට්‍රේලියානු ජාතිකයෙකි. එවකට මඩොල්කැලේ වතුයායේ වතු අධිකාරිවරයා ඔහුය. මෙම වතු අධිකාරිවරයා පොඩි මිනිස්සුන්ගේ පැත්ත ගනු ඇතැයි එවක සුදු ජාතික පාලකයින් සිතුවේ නැත. එහෙත් ඔහු ලංකා සමසමාජ පක්ෂයත් සමග සම්බන්ධකම් ඇති කර ගත්තේය. මේ නිසාම වේස්ක්රේටිව් නම් වතු අධිකාරීවරයා ලංකාවෙන් පිටුවහල් කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට ඩවුබිං කටයුතු කළේය.
මෙම නියෝගයත් සමග වෙස්ක්‍රේටිව් සැඟවුනේය. පොලිසියේ කිසිවෙකුට ඔහුව සොයා ගත නොහැකි විය. ඔහු ඒ අතර ගෝල්ෆේස් පිට්ටනියේ පැවති සම සමාජ පක්ෂයේ රැස්වීමකට ද ඔහු සහභාගී වන්නේ පොලිසියට කොකා පෙන්වමිනි.
මේ අතර වතු ක්ෂේත්රයේ ප්‍රධානීන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය. ඒ වෙස්ක්‍රේටිව් පිටුවහල් කිරීම බලරහිත කරන ලෙස ඉල්ලමිනි. සුදු ජාතික විනිසුරු ග්‍රේසන් ඒ නියෝගය බලරහිත කරමින් වෙස්ක්රේටිව්ට මෙරට රැඳී සිටීමට අවස්ථාව ලබාදුන්නේය. ඒ සමගම ඔහුට පොලිස්පති ධුරයෙන් ද ඉවත් වෙන්නට ද සිදුවිය
අගමැතිටත් විරෝධය පා ASP නැවතුනේ පොලිස්පති වෙලා!
පළමු පොලිස්පති ලෙස 1866 දී කැම්බල් පත්වූ දා සිට වසර 1946 වන තුරු වසර 80ක්ම මෙරට පොලිස්පති ධුර දරා ඇත්තේ සුදු ජාතිකයන්ය. මුල්ම ස්වදේශීය පොලිස්පතිවරයා වන්නේ ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේය. 1946 දී පොලිස්පති ධුරයට ඔහු පත්වන්නේ අනුරාධපුරයේ දිසාපතිවරයාව සිටියදීය. ශ්‍රී ලංකා පොලීසියේ 12 වැනි පොලිස්පතිවරයා ඔහුය. රිචඩ් අලුවිහාරේගෙන් පසු පොලිස්පති ධුරයට පත්වන්නේ ඒ වන විට පොලිස් සේවයේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ ඔස්මන් ද සිල්වා ය. ඔහු ජාතික වර්ණලාභී ක්‍රීඩකයකු ද විය. පොලිස්පතිවරයෙක් වූ පළමු ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසයට එක්වන්නේ ඔහුය.
ඔස්මන් ද සිල්වා යනු ශ්‍රීමත් රිචඩ් අලුවිහාරගේ බෑනාය. ඔහු පොලිස්පති ධුරයේ රැඳී සිටිනවාට බණ්ඩාරනායක අගමැතිවරයාගේ එතරම් කැමැත්තක් තිබී නැත. පොලිස්පති ධුරයට පත්කරන්නට බණ්ඩාරනායක අගමැතිවරයා යෝජනා කරන්නේ තමන්ට හිතවත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙක් වන එම්.ඩබ්ලිව්.එෆ්. අබේකෝන්වය. ඔහුගේ පත් කිරීම සම්බන්ධ යෝජනාව එවකට පොලිසියේ ජ්‍යෙෂ්ඨයින්ගේ බරපතල විරෝධයට ලක් වුවත් එම විරෝධය එළිපිට පළ කරන්නේ එක් පොලිස් නිලධාරියෙක් පමණි. ඔහු එවකට සහකාර පොලිස් අධිකාරීවරයෙකි. ඔහුගේ හුදලා විරෝධය ඵල දරන්නේ නැත. බණ්ඩාරනායක තමන්ගේ හිතවතා පොලිස්පති ධූරයට පත් කරගන්නේය.
ඒ පත්කිරීමේ අපූරුව පසු කාලයක පෙනුනේය. බණ්ඩාරනායක අගමැතිවරයා 1959 වසරේ සැප්තැම්බර් 26 වැනිදා ඝාතනයට ලක්වන විට පොලිස්පති ධුරය දරමින් සිටින්නේ ඔහුගේ විශ්වාසවන්තම සගයා වූ අබේකෝන්මය. බණ්ඩාරනායක අගමැතිවරයාගේ ඝාතනයෙන් පසු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාල වකවානුවේදීද පොලිස්පති ධුරය දරන්නේ අබේකෝන්මය. මැතිනියට එරෙහිව දියත්වූ හමුදා සහ පොලිස් කුමන්ත්‍රණය සිදුවන්නේද මෙම වකවානුවේදීමය. 62 හමුදා කුමන්ත්‍රණය යැයි සඳහන් වන්නේ එම කුමන්ත්රණයටය. හමුදාවේ සහ පොලීසියේ සීමිත ඉහළ නිලධාරීන් පිරිසක් විසින් මැතිනිය සිරගතකොට රාජ්‍ය බලය ඇල්ලීමට කළ කුමන්ත්‍රණය පරාජයට පත්කරන්නට හැකියාව ලැබෙන්නේ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාව සිටි එස්.ඒ. දිසානායක නිසාය.
ඒ නිසාම 1963 වසරේ අප්‍රේල් 29 වැනිදා අබේකෝන් පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගන්නා විට ඒ තනතුරට නිතරගයෙන් පත්වන්නේ එස්.ඒ. දිසානායකය. 1963 වසරේ ජූනි 03 වැනිදා 15 වැනි පොලිස්පතිවරයා ලෙස ඔහු වැඩ භාරගෙන තිබිණි.
අබේකෝන් පොලිස්පති ධූරයට පත් කිරීමට එරෙහිව බණ්ඩාරනායක අගමැතිවරයාට ඔහු ඉදිරිපිටදීම සිය විරෝධය දැක්වූ සහකාර පොලිස් අධිකාරීවරයා පසු කාලයේ පොලිස් සේවයෙන් විශ්‍රාම යන්නේ ශ්‍රී ලංකා පොලීසියේ පළමු දෙමළ ජාතික පොලිස්පතිවරයා ලෙස වාර්තා පොත්වල සිය නාමය සටහන් තබාය. හෙතෙම 20 වැනි පොලිස්පතිවරයා වූ රුද්‍රා රාජසිංහම්ය. 1982 වසරේ අප්‍රේල් 20 වැනිදා පොලිස්පති ධුරයට පත්වන ඔහු විශ්‍රාම යන්නේ 1985 වසරේ අප්‍රේල් 20 වැනිදාය.
සේවා කාලය තුළ මිය ගිය පොලිස්පතිවරු
මෙරට ඉතිහාසයේ පොලිස්පතිවරු දෙදෙනෙකු සිය සේවා කාලය තුළ මියගොස් ඇත්තේය. ඒ එක් අයෙක් වන්නේ 1910 වසරේදී හත්වැනි පොලිස්පතිවරයා ලෙස පත්වුණු ශ්‍රීමත් අයිවන් එඩ්වඩ් ඩේවිඩ් ය. වසර 13ක් පොලිස් සේවයේ රැඳී සිටි ඔහු 1913 වසරේදී මිය යන්නේ නුවරඑළියේදී මැලේරියාවට ගොදුරුවීමෙනි. ඔහු ශ්‍රී ලංකා පොලීසියේ 07 වැනි පොලිස්පතිවරයාය. දෙවැන්නා වන්නේ ලකී කොඩිතුවක්කු ය. 1998 වසරේ සැප්තැම්බර් 01 වැනිදා විසිහය වැනියා ලෙස පොලිස්පති ධුරයට පත්වන ඔහු 2002 වසරේ අගෝස්තු 27 වැනිදා රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය යන්නේ තවත් වසරක කාලයක් සේවයේ නිරතවීමට අවකාශ තිබියදීය.
ලකී කොඩිතුවක්කුගේ අභාවයෙන් පසු පොලිස්පති ධුරයට පත්වන්නේ ටී.ඊ. ආනන්ද රාජා ය. නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුව සිටියදී මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ දියණියකගේ උපන්දින සාදයකට සහභාගිවීමක් හෙළිවීමත් සමඟ 2003 වසරේ ඔක්තෝබර් 14 වැනිදා ඔහුට පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගැනීමට සිදුවන්නේ සේවා දිගුවකින් තවත් වසරක් පොලිස් සේවයේ රැඳී සිටීමට තිබුණු අවස්ථාවද අහිමිව යමිනි.
ධූරයෙන් ඉල්ලා අස් වූ පොලිස්පතිවරු
නැවතත් අර්බුදයකට මුහුණ දෙන පොලිස්පතිවරයෙක් වන්නේ මහින්ද බාලසූරියයි. 2009 වසරේදී ඔහු පොලිස්පති ධුරයට පත්වන්නේ 32 වැනි පොලිස්පතිවරයා ලෙසිනි. 2011 වසරේ ජූනි 17 වැනිදා පොලිස්පති ධුරයෙන් ඔහු ඉල්ලා අස්වන්නේ එකල පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ඔහුට ඉල්ලා අස්වන ලෙස කළ නියෝගයකට අනුවය. ඒ තවත් වසරක කාලයක් පොලිස්පති ධුරය දැරීමට අවස්ථාවද අහිමි කරගෙන ඔහු ඉල්ලා අස්වන්නේ ආණ්ඩුව බේරාගන්නටය. ඒ පුද්ගලික අංශයේ සේවකයන්ට ඉදිරිපත් කළ විශ්‍රාම වැටුප් යෝජනාවලියට එරෙහිව කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයින් විසින් පවත්වන ලද උද්ඝෝෂණයක් පාලනය කිරීමට ගිය පොලිස් නිලධාරීන් අතින් රොෂේන් චානක නමැති තරුණයා වෙඩි වැදීමකට ලක්ව මිය යාමත් සමඟ රට පුරා පැන නැඟුණු ජනතා විරෝධය නිසාය.
.මහින්ද බාලසූරියට පෙර ඉල්ලා අස්වූ තවත් පොලිස්පතිවරයෙක් වන්නේ සිරිල් හේරත් ය. ඔහු 22 වැනි පොලිස්පතිවරයාය. 1985 වසරේ දෙසැම්බර් 06 වැනිදා පොලිස්පති ධුරයට පත්වන සිරිල් හේරත් 1988 වසරේ ජූලි 31 වැනිදා ඉල්ලා අස්වන්නේ තවත් වසරක කාලයක් පොලිස්පති ධුරයේ රැඳී සිටීමට අවකාශ තිබියදීමය. ඊට මුල්වන්නේ එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයන් සමඟ ඇති වන ගැටුමකි.
එම ගැටුමට මුල්වන්නේ එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස සේවයේ නිරතව සිටි ගෆූර් සහ උඩුගම්පොළ යන නිලධාරීන් දෙදෙනා නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කරන ලෙස කළ දැනුම් දීමකි. ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ ඒ වන විට ගෆූර් සිටින්නේ 06 වැනි ස්ථානයේය. එහෙත් උඩුගම්පොළ සිටින්නේ 40 වැනි තැනේය. එබැවින් සිරිල් හේරත් ජනපතිවරයාට දැනුම් දෙන්නේ ගෆූර්ට උසස් වීම ලබාදුන්නද උඩුගම්පොළට ලබාදීමට නොහැකි බවකි.
සිරිල් හේරත්ට කරන්නට බැහැ යැයි කී එම උසස්වීම විධායක බලතල යොදමින් ජේ.ආර්. ජනාධිපතිවරයා එක පෑන් පහරින් අවසන් කළේය. ඒ ගැන සිත් තැවුලට පත්වුණු සිරිල් හේරත් එදින සවස සිය නැන්දනියගේ නිවසට ගොස් එහි තිබුණු ටයිප් රයිටරයකින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය යතුරුලියනය කරන්නේ තමුන්මය. පසුදින එම ලිපිය ඔහු භාරදෙන්නේ එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි සේපාල ආටිගලටය. ඔහු සැලකෙන්නේ රජය සමඟ ගැටුමක් ඇති කරගනිමින් ඉල්ලා අස්වූ පළමු පොලිස්පති ලෙසිනි.
දේශබන්දුට හිමි තැන
වසර 159ක පොලිස් ඉතිහාසය තුළ මෙතෙක් පොලිස්පති ධුරය දැරූ පොලිස්පතිවරු 36 දෙනාගෙන් දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ලියැවෙන්නේ කලුපාට කතාවකි. ලංකාවේ පොලිස්පතිවරුන්ගේ ඉතිහාසයේ ලියැවෙන අප්‍රසන්නම පරිච්ඡේදය ඔහු වෙනුවෙන් වෙන්වී ඇත්තේය.
පොලිස්පති ධුරයෙන් හෙට දිනයේ ඔහුව නෙරපා හැරියත් ඔහු පොලිස්පති ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් වූ අධිකරණමය කටයුත්ත තවමත් ඇත්තේ විභාගයේය. ඒ ලැබෙන තීන්දුවද පොලිස් ඉතිහාසය වෙනස් කිරීමට බොහෝ විට තුඩු දෙනු ඇත.
දේශබන්දු තෙන්නකෝන්ගෙන් පසු ශ්‍රී ලංකා පොලීසියේ 37 වැනි පොලිස්පති ලෙස පත්වන්නේ කවුරුන්දැයි තවමත් සඳහන් කරන්නට කල් වැඩිය. ඒ එම කටයුත්ත පැවරී ඇත්තේ ජනාධිපති සහ ව්‍යවස්ථා සභාවට වන බැවිනි. යම් හෙයකින් වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ට මෙම අවස්ථාව ලැබුණහොත් ඔහුද ඉතිහාසයට එක්වන තවත් චරිතයක් වනු ඇත. ඒ පොලිස් කොස්තාපල්, පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන අවධි තුනම දරා ඇති එකම පොලිස්පති ලෙසිනි. (ගයාන් කුමාර වීරසිංහ – දිනමිණ)







