භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන දෙමටගොඩ සංජීවගේ සහෝදරයා වන දෙමටගොඩ රුවන් නමැත්තා කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී වෙඩි තබා ඝාතනය කිරීමට කළ සැලසුමක් ව්‍යර්ථ වූයේය. ඒ පෙරේදා (19)ය.
සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙසේය.
පසුගිය 19 දා සෙනසුරාදා අලුයම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් කොල්ලුපිටියේ සමාජ ශාලාවක් අවට සැරිසරමින් සිටියේය. මේ හැසිරීම සම්බන්ධව සමාජ ශාලාවේ ආරක්ෂකයින්ට සැක පහළ විය. ඔවුන් දෙදෙනා කෙරෙහි අවධානයෙන් සිට එක් ආරක්ෂකයෙක් දුටුවේ යතුරුපැදියේ පසුපැදිකරු ලඟ ටී 56 අවියක් ඇති බවය. වහාම ක්‍රියාත්මක වූ අවිය සහිතව සිටි පුද්ගලයා බලාපොරොත්තු නොවූ අවස්ථාවක ක්ෂණිකව ඔහු වෙත කඩා පැන්නේය. අනතුරුව ඔහු සමග පොර බැදූ ආරක්ෂකයා ගිනි අවිය තමන් සන්තකයට ගත්තේය. ඒ සමගම අන්ද මන්ද වූ යතුරුපැදියේ පැදි කරු ගිනි අවිය අත්හැර දමා පසු පැදිකරු ද රැගෙන ස්ථානයෙන් පලා ගියේය. පාතාලයේ සැලසුම් කළ ඝාතන තැතක් වැරදී තිබිණි.
ගිනි අවිය තමන් සන්තකයට ගත් සමාජ ශාලවේ ආරක්ෂකයින් එය ගොඩනැගිල්ලේ උඩුමහලේ සඟවා තැබූහ. මේ සිද්ධිය සම්බන්ධව ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු විමර්ශන ඇරමූහ. ඒ සමාජ ශාලාවේ සඟවා තබා ගත් ටී 56 ගිනි අවිය තමන් සන්තකයට ගනිමිනි. ඝාතන කුමන්ත්‍රණ ස සිද්ධියේ තොරතුරු අනාවරණය වන්නේ ඉන් අනතුරුවය.
මෙම සමාජ ශාලාවට දෙමටගොඩ රුවන්ට සම්බන්ධයක් ඇති එකකි. නමුත් එය බාහිර ලෝකයට පෙනෙන ලෙස පවත්වාගෙන යන්නේ කාන්තාවක් විසිනි. හිමිකරුවන් මෙම රාත්‍රි සමාජ ශාලාව පවත්වාගෙන යමින් ඇත්තේ රුපියල් ලක්ෂ හත හමාරක මාසික කුලියකට ය. දිනපතාම පාහේ අලුයම් කාලයේදී මෙම ස්ථානයට දෙමටගොඩ රුවන් පැමිණෙන බවත් විමර්ශනවලින් අනාවරණය විය. ටී56 සහිතව යතුරු පැදියෙන් පැමිණ සිටියේ රුවන් වෙඩි තබා ඝාතනය කිරීම ඉලක්ක කරගත් කුලී ඝාතකයින් දෙදෙනෙකි.
දැනට අනාවරණය වන ආකාරයට දෙමටගොඩ රුවන් මේ ආකාරයට ඝාතනය කිරීමේ සැලසුම දියත් කර ඇති බව කියන්නේ පාතාල නායකයකු වන ලලිත් කන්නන්ගර නමැත්තාය. දෙමටගොඩ රුවන් ඝාතනය සඳහා කුලී ඝාතකයන් දෙදෙනා ටී 56 අවිය ද රැගෙන රාත්‍රි සමාජශාලාව වෙත පැමිණ ඇත්තේ ඒ අනුවය. මෙම ගිනි අවිය සම්බන්ධව ද විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.
පලාගිය වෙඩික්කරු සහ යතුරුපැදිය අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගලගේ මෙහෙයවීමෙන් පැවැත්වේ. ආරක්ෂක කැමරා පරීක්ෂා කරමින් වෙඩික්කරු පැමිණි යතුරුපැදිය පස්සේ පන්නමින් ඇතැයි පොලිස් තොරතුරු කීවේය.







