රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනාට ම අධිකරණය අද ඇප නියම කළේය.
ඒ මර්වින් සිල්වා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත අද (03) ගම්පහ මහාධිකරණ විනිසුරු ඩබ්. කේ. ඩී. විජයරත්න ඉදිරියේ දී සලකා බැලුණු අවස්ථාවේ දීය.
එහිදී විත්තිකරුවන් වූ මර්වින් සිල්වා, ජයන්ත කබ්රාල් සහ නවීන් වීරකෝන් යන විත්තිකරුවන් තිදෙනාටම ඇප හිමි වුණි.
තිදෙනාගෙන් එක් එක් අය සඳහා රුපියල් ලක්ෂ 2ක මුදල් ඇපයක් මෙන්ම ලක්ෂ 50ක ශරීර ඇප පහක් මත ඔවුන් මුදාහැර ඇති අතර ඔවුන්ගේ විදේශ ගමන් ද තහනම් කර තිබේ.
තවද සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස විත්තිකරුවන්ට දැඩි ලෙස අවවාද කළ අතර සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද නියෝග කර ඇත.
පසුගිය මාර්තු 05 වැනිදා මර්වින් සිල්වා සහ අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් සිදුකළ දීර්ඝ කාලීන විමර්ශනයකින් පසුවය. අත් අඩංගුවට ගැනීමට පාදක වූ විමර්ශනයට පදනම් වී තිබුණේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් ව්‍යාජ ඔප්පු සකස් කිරීමය.
අත්අඩංගුවට ගත් මර්වින් සිල්වා පසුගිය මාර්තු 06 දා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එදින ඔහු රිමාන්ඩ් කෙරනි. එදා සිට අද තෙක් මාස 4කට ආසන්න කාලයක් මර්වින් සිල්වා හිටියේ බන්ධනාගාරගතවය.







