දිනසේන රතුගමගේ –
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ( ITAK ) අභ්‍යන්තර මත ගැටුම් තවත් උත්සන්න වීමත් සමගම මන්නාරම දිස්ත්‍රික්කයේ එම පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා සියලු තනතුරුවලින් ඊයේ ( 1 ) ඉල්ලා අස් වී තිබේ.
ඉල්ලා අස් වූ එම පක්ෂයේ භාණ්ඩාගාරික ටී.පරමජෝති එම පක්ෂයේ ඉතා පැරණි ජෙයෂ්ඨ ක්‍රියාකාරිකයෙකු වන අතර ඔහු කාලයක්ම මන්නාරම දිස්ත්‍රික්කය වෙනුවෙන් පක්ෂයේ සභාපති ලේකම් හා භාණ්ඩාගාරික යන තනතුරු රැසක්ම හොබවා තිබේ.
ඔහු පක්ෂයේ මහ ලේකම්වරයාට ප්‍රකාශ කොට ඇත්තේ පක්ෂය තුළ විනයක් නොමැති බවත් සියලු දෙනාම උපදේශකයින් වී ඇති හෙයින් තව දුරටත් තමන්ට එම පක්ෂයේ සිටීමට නොහැකි බවයි.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ප්‍රාදේශීය සභා පිහිටුවීමේදී අනුගමනය කළ ප්‍රතිපත්ති හා දේශපාලන නිර්ණායකයන් පක්ෂය විසින් ඊට පෙර ගන්නා ලද තීන්දු තීරණ නොවීම නිසා තමන්ට තම පාක්ෂිකයින්ට මුහුණ දීමේ හැකියාවක් නොමැති බවත් ඉල්ලා අස්වෙමින් ඔහු පවසා ඇත.
ඉල්ලා අස් වූ භාණ්ඩාගාරිකවරයාගේ දුරකතනය ඔහු විසින් ඉල්ලා අස් වීමේ ලිපිය භාර දුන් මොහොතේ සිට විසන්ධි කොට ඇති අතර ඔහු මන්නාරම නිවසේ නොමැති බවද ඔහු ගැන කළ සොයා බැලීමේදී දැන ගැනීමට ලැබුනි.







