විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබිය දී එම නියෝගය පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ලබා සිටි හිටපු ආගමන හා විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය එම චෝදනාව සම්බන්ධව කොන්දේසි විරහිතව වරද පිළිගෙන අද ශ්‍රේෂ්ඨාධිකරණයේ දී සමාව ගත්තේය.
මීට පෙර නඩු විභාගයේ දී තමන් අදාල චෝදනාවට නිවැරදිකරු බව සඳහන් කරමින් ඉදිරිපත් කළ විත්ති වාචිකය ඉවත් කරගන්නා බවද ඔහු අධිකරණයට දැනුම් දුන්නේය.
අද අධිකරණයේ දී හෙළිදරවු වූ කරුණු අනුව හර්ෂ ඉලුක්පිටිය මාස නවක් තිස්සේ බන්ධනාගාරගතව දුක් වින්දේත්, සමාජ ගර්හාවට පාත්‍ර වුනේත්, ඔහු පරිපාලකයෙක් ලෙස ප්‍රකට කළ ජඩකමටත් එහා දේශපාලන බලය ඉදිරියේ ක්‍රියාකළ නපුංසක බැල කම නිසාය. . තමන් කරන්නේ බෙල්ල ගසා යන ගොබ්බ වැඩක් බව දැනගෙන ස්වාමියා සතුටු කිරීමට යන ගර්හිත වහලෙක් සේ ඔහු හැසිරී තිබිණි. තමන් සමග හිඳමින් මේ අමන වැඩේ කිරීමට පසුබිම සකස් කළ එකෙක්වත් දැන් තමන් අත්හැර දමා ඇති බව හරියටම තේරුණ මොහොතේ ඉලුක්පිටිය කට අරින්නේය. එතකොට වෙන්න ඕනෑ හරිය ඔහුට සිදුවී හමාරය.
ඉලුක්පිටිය කළ මරි වැඩේ
ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට රජය පියවර ගෙන තිබිණි. එම අමාත්‍ය මණ්ඩල තීරණය බල රහිත කරන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන පාඨලී චම්පික රණවක, එම්.ඒ සුමන්තිරන් සහ රවුෆ් හකීම් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළහ.
මෙම පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නේය. අනතුරුව විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමේ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වමින් ඉකුත් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ඒ වසරේ අගෝස්තු මස දෙවැනි දා ය.
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පැරණි ක්‍රමයට සිදුකරන ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත තවත් අතුරු නියෝගයක් ද අධිකරණය විසින් නිකුත් කළේය.
හර්ෂ ඉලුක්පිටිය එම නියෝගය පැහැර හැරියේය. අනතුරුව අදාල නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් පෙත්සම් කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ චෝදනාපත්‍ර ගොනු කළහ.
පසුව එම චෝදනාපත්‍ර විභාගයට ගැනීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකාර හර්ෂ ඉලුක්පිටිය පැමිණිල්ල විභාග කර අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. එම නියෝගය සිදුකරන්නේ සැප්තැම්බර් 25 වැනිදාය.
අද එම පැමිණිල්ල කැඳවනු ලැබුවේ යසන්ත කෝඳාගොඩ, ජනක් ද සිල්වා අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය.
අනතුරුව අධිකරණය හමුවේ හර්ෂ ඉලුක්පිටිය සිය ප්‍රකාශය සිදුකළේය.
හර්ෂ ඉලුක්පිටිය – ” ස්වාමිනි, මේ චෝදනාවලට නිවැරදිකරු බව මං කලින් ප්‍රකාශ කළා. දැන් මම එය ඉල්ලා අස්කර ගන්නවා. මම අදාළ චෝදනාවලට වරදකරු බව කියා සිටිනවා.”
විනිසුරු යසන්ත කෝදාගොඩ – ” මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීමේ තිබෙන බරපතළභාවය ගැන ඔබට දැනුමක් තිබෙනවා”
හර්ෂ ඉලුක්පිටිය – . “ස්වාමීනී, අධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් විමසීමක් කළා. එම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් අධිකරණයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කර ගැනීමක් කරගන්නා ලෙස එහිදී උපදෙස් ලැබුණා. අධිකරණයෙන් පැහැදිලි කිරීමක් ලැබෙන තෙක් එම අතුරු තහනම් නියෝගය අනුව කටයුතු නොකරන ලෙස එවක අමාත්‍යාශ ලේකම්වරයා මට දැනුම් දුන්නා. මම ඒ අනුව කටයුතු කළා. ඒ අවස්ථාව වන විටත් මම පූර්ව විශ්‍රාම යාමට ඉල්ලීමක් කර තිබුණා. වෙනත් ආයතනයකට ස්ථාන මාරුවක්ද ඉල්ලා තිබුණා. ”
විනිසුරු යසන්ත කෝදාගොඩ – ” මෙම අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකරන ලෙස ඔබට ඉහළ අධිකාරියකින් බලපෑමක් තිබුණද ? ”
හර්ෂ ඉලුක්පිටිය – ” ස්වාමීනි, නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබෙන තෙක් එම අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකරන ලෙස අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක මහතා මට උපදෙස් දුන්නා. ඒ සම්බන්ධයෙන් වාචික මෙන්ම ලිඛිත දැනුම් දීමකුත් සිදුකළා.”
විනිසුරු යසන්ත කෝදාගොඩ –” ඔබ කියා සිටින්නේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත අදාල අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකළ බව නේද? ඔහුගෙන් උපදෙස් ලැබුණේ කවදාද?”
හර්ෂ ඉලුක්පිටිය – ” ස්වාමීනි, මට දිනය හරියට මතක නෑ. මා විදේශගත වීමට පෙරයි එය ලබා දුන්නේ. නමුත් වාචිකව හා ලිඛිතව එම උපදෙස් ලබා දුන්නා.”
පෙත්සම්කාර පාර්ශවය කළ කතාව
අනතුරුව විනිසුරු මඩුල්ල මේ සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවයන්ගෙන්ද කරුණු විමසුවේය.
පෙත්සම්කාර පාර්ශවයක් ලෙස නීතිඥ රවුෆ් හකීම් කියා සිටියේ මෙම ක්‍රියාව වග උත්තරකරුගේ අවශ්‍යතාව මත සිදුවූ කටයුත්තක් නොවන නමුත් අදාළ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම නිසා ජාතික ආර්ථිකයට විශාල පාඩුවක් සිදුවූ බවය. එබැවින් දඬුවම් නියම කිරීමේදී එම කරුණද සැලකිල්ලට ගන්නා ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පෙත්සම්කාර පාඨලී චම්පක රණවක අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක ජාවාරමක් පවතින බවය. මොබිටල් ආයතනය විසින් ඩොලරයකට ලබා ගත හැකිව තිබූ අයිතමයක් ඩොලර් 25කට ලබා ගැනීම මෙහිදී සිදුවී ඇති බවත් සඳහන් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස රටට රුපියල් බිලියන 3.71ක අලාභයක් සිදුවී ඇති අතර ඒ සම්බන්ධව වෝහාරික විගණනයක් කරන ලෙස පාර්ලිමේන්තු කමිටුවක් විගණකාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවත් චම්පික රණවක වැඩිදුරටත් කීවේය.
ඉන් අනතුරුව හර්ෂ ඉලුක්පිටිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණයට පැවසුවේ තම සේවාදායකයා කිසිම චෝදනාවකට වරදකරු වී නොමැති බවය. ඔහු වැරදි කාලයේ වැරදි තනතුරක කටයුතු කිරීම නිසා මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත වූ බවත් ඔහු මේ වනවිට වරද පිළිගෙන ඇති නිසා ඔහුට ලිහිල්ව කටයුතු කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ත්‍රිපුද්ගල ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුකරයට අදාල ලිඛිත දේශන තිබේ නම් සති දෙකක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස වගඋත්තරකරුට නියෝග කළේය. දඬුවම් නියම කිරිම පිළිබඳ තීන්දුව ජුලි 24 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.
දැන් අපට ප්‍රශ්නයක් තිබේ. හර්ෂ ඉලුක්පිටිය බබෙක් ද?. එවකට ටිරාන් අලස්ගේ අමාත්‍යාංශය වූ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධුරය දැරූ වියානි ගුණතිලක හිටියේ අධිකරණයට උඩින් ද?. අධිකරණ නියෝගයක් ලබා දුන් විට එය ක්‍රියාත්මක නොකරන ලෙස උපදෙස් දෙන්නට වියානි ගුණතිලකට ඇත්තේ අහවල් බලයක් ද?. අධිකරණ නියෝගයක් පිළිනොපදින ලෙස ලබා දෙන උපදෙසක් පිළිගන්න තරම් හර්ෂ ඉලුක්පිටිය ගොබ්බයෙක් නම් ඔහු කළ යුතුව තිබුණේ ආගමන විගමන පාලක ජෙනරාල්කම ළමයෙකුට දී තුම්මුල්ල හන්දියට ගොස් හිඟා කෑමය. අද හර්ෂ ඉලුක්පිටිය පත් වී ඇති තත්ත්වය දෙස බලනවිට මුල් තීරණය ගත්තා නම් කොපමණ නම්බුකාරදැයි අපට හිතෙන්නේය.







