හිටපු අයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට සහ ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහට එරෙහිව කොළඹ මහාධිකරණය ඉදිරියේ අද (30) අධි චෝදනාපත්‍ර භාරදුන්නේය.
ඒ 2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පදවි ප්‍රාප්ත සංවත්සරය වෙනුවෙන් ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පල කිරීම හරහා රජයට පාඩුවක් සිදුකළේ යැයි කියන සිද්ධියකට අදාලවය.
2014 වර්ෂයේ නොවැම්බර් 19 වැනිදා පුවත්පත් 11ක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් මෙම දැන්වීම් අතිරේක පල කර තිබිණි. ඉන් රුපියල් 17,48,877 ක මුදලක් පාඩු කර දූෂණ විරෝධී පනත යටතට ගැනෙන වරදක් සිදුකර ඇති බවට මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වී ඇත.
අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ ලක්ෂ්මන් යාපා අබේවර්ධනට සහ ජයන්ත එදිරිසිංහ වෙත අධි චෝදනා පත්‍ර භාර දෙනු ලැබුවේය. අනතුරුව රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප මත මෙම දෙදෙනා මුදාහැරිනි.
අල්ලස් කොමිසම මේ සිද්ධියට අදාලව අධි චෝදනා පහක් යටතේ මහාධිකරණය හමුවේ පසුගිය මැයි 16 වැනිදා මහින්ද යාපා අබේවර්ධනට සහ ජයන්ත එදිරිසිංහට නඩු පවරනු ලැබුවේය.







