යුද්ධයත් සමග දැන් සිදුවෙමින් ඇති මිල වැඩිවීම් අනුව ලබන මාසයේ තෙල් මිලට යම් බලපෑමක් එල්ල විය හැකි නමුත් එය විශාල පරිමාණයේ එකක් නොවන බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.
එම සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා අද මාධ්‍ය අමතා ප්‍රකාශ කළේ මේ වනවිට ලබන මාසය සඳහා අවශ්‍ය තෙල් තොග රටට ලැබී ඇති බවය.
“සාමාන්‍ය තෙල් ගණනය කිරීම්වලදී මේ මාසයෙ ගණනය කිරීම්වල මිලෙහි සාමාන්‍ය තමයි ලබන මාසයේ මිල වෙන්නේ. ඒකෙ යම් වැඩිවීමක් තියනවා. ඒකේ ඇවරේජ් එකයි අපි ගන්නේ. ඒ ගණනය කිරීම්වල හැටියට ලබන මාසේ මිලට විශාල බලපෑමක් ක්ෂණිකව ඇති වෙන්නේ නෑ. ” ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා පැවසුවේය.
ඔහු ප්‍රකාශ කළේ ඉදිරියේ දී ලංකාවට වැඩි වශයෙන් ඉන්ධන ලැබෙන්නට නියමිතව ඇත්තේ සිංගපූරුව ප්රමුඛ මැලේසියාව, තායිවානය, ඉන්දියාව වැනි රටවලින් බවය. වැඩිපුරම ඉන්ධන ප්‍රමාණයක් සිංගප්පූරුවෙන් ලැබෙන බව කී සභාපතිවරයා, සිනොපැක්, අයි.ඕ.සී. ආර්.එම්.පාර්ක්, සමාගම් ද ඔවුන්ගේ සැපයුම් කරුවන් යුද කලාපයෙන් පිටත සිටින බව තහවුරු කළ බව ප්‍රකාශ කළේය.
“අපට ප්රශ්නය එන්නේ අපේ බොරතෙල්වලට. බොරතෙල්වල ඊලඟට එන නැවු දෙකම සහතික වෙලා තියෙන්නේ.” කී සභාපතිවරයා මේ වනවිට වෙනත් කලාපයකින් බොරතෙල් ආනයනය කළ හැකි ආකාරය විමසමින් සිටින බවත්, අප්‍රිකානු කලාපයේ බොරතෙල් සාම්පල ගෙන්වාගෙන අපට පිරිපහදු කළ හැකි සංයුතියක තිබේදැයි තහවුරු කරගැනීමට පර්යේෂණාගාරවෙත යොමු කර ඇතැයි ද සභාපතිවරයා පැවසුවේය.
ඉදිරි තීරණ ගත යුතු වන්නේ යුද්ධය පවතින ආකාරය මත ලෝක වෙළෙඳපලේ සිදුවන වෙනස්වීම් අධ්‍යයනය කරමින් බව ද ඔහු පැවසුවේය.
විදුලි බල හා බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි පැවසුවේත් ඉරාන- ඊශ්‍රයාල යුද්ධයත් සමග ලෝකයට ඇතිවන අහිතකර තත්ත්වයෙන් පංගුවක් අපටත් ලැබෙන්නට නියමිතබවය.
“අපි ඒ සඳහා අපේ පැත්තෙන් ගත හැකි පියවර අපි ගනිමින් සිටිනවා. විශේෂයෙන්ම යුද්ධය පවතින කාල වකවානුවේ තොග තෙල් ඒක රාශී කරගැනීම සඳහා යුදමය කලාපයෙන් බැහැරව අපට ඛණිජ තෙල් ලබා ගත හැකි සැපයුම්කරුවන් සමග සම්බන්ධතා ඇති කරගන්න උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරමින් ඉන්නවා.” ඇමතිවරයා කීවේය.







