ඉරානයේ රාජ්‍ය රූපවාහිනී නාලිකාව වූ IRINN වෙත අද (16) ඊශ්‍රයාලය එල්ල කළ ප්‍රහාරය ලෝකය යළිත් කම්පනයට පත් කර ඇත. ප්‍රහාරයට පෙර ඊශ්‍රයාලයේ ආරක්ෂක ඇමති ඊශ්‍රයාල් කැට් අනතුරු ඇඟවීමක් කරමින් මෙසේ කීවේය.
“ඉරාන ප්‍රචාරණ සහ උසිගැන්වීමේ කටහඬ අතුරුදහන් වීමට ආසන්නයි” . ඊශ්‍රයාලයේ අනතුරු ඇඟවීම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වූයේය. ප්‍රහාරය එල්ලවන්නේ සජීවී විකාශනයක් අතරතුරය. වැඩසටහන මෙහෙයවමින් සිටියේ ඉරානයේ ජනාදරයට පත් නිවේදිකාවක වූ සහාර් එමාමිය. එක්වරම දැවැන්ත පිපිරීම් හඬක් ඇසෙන අයුරුත්, සුන් බුන් කඩා හැලෙද්දී ඇය මැදිරියෙන් දිව යන අයුරුත් සජීවීව පටිගත වී තිබිණි. එම මැදිරිය විනාශ වී තවත් ටික වෙලාවක් ගිය පසු යළිත් වෙනත් චිත්‍රාගාරයක සිට ඇය වැඩසටහන පවත්වාගෙන ගියාය.
IRINN යනු ඉරාන රාජ්‍ය පාලිත ජාතික විකාශකයාය. එමෙන්ම රට තුළ වැඩියෙන්ම නරඹන රූපවාහිනී නාලිකාවය. ඊට ප්‍රමුඛම හේතුව වී ඇත්තේ ඉරානය විදේශීය රූපවාහිනී නිලිකා රට තුළ තහනම් කිරීමය. චන්ද්‍රිකා තාක්ෂණය මගින් හෝ එම නාලිකා නැරඹීම පහසු කටයුත්තක් නොවේ. ඉරාන ඉස්ලාමීය ජනරජයේ ප්‍රධාන කුළුණක්වන IRINNහි ප්‍රධානියා ඉරානයේ උත්තරීතර නායකයා විසින් පත් ලබන්නේය. ප්රවෘත්ති නාලිකාවේ සේවය කරන අය ද පුළුල් පරීක්ෂාවකට ලක් වන්නේය. ඒ ඉරානයේ පාලන ස්වරූපය ය.
සිදු කළ විනාශය සම්බන්ධයෙන් අල් ජසීරා වාර්තා කර තිබුනේ ටෙහෙරාන් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මහාචාර්ය ෆෝඩ් ඉසාඩිගේ අත්දැකීම බෙදා ගනිමිනි. ඔහු අල් ජසීරා වෙත පවසා තිබුණේ රාජ්‍ය රූපවාහිනී ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයෙන් පසු “බොහෝ ජීවිත හානි” සිදුවනු ඇතැයි තමන් බිය වන බවය.
එම ස්ථානයේ දර්ශනවලින් පෙනී යන්නේ ගොඩනැගිල්ල ගිනිගෙන ඇති බවය.
“එය විශාල ගොඩනැගිල්ලක්,” ඉසාඩි අල් ජසීරාට පැවසීය. “ඉරානයේ ප්රවෘත්ති නාලිකාව පළමු මහලේ පිහිටා තිබෙනවා. ගොඩනැගිල්ලේ මහල් ගණන 04ක්. සෑම මහලකම අවම වශයෙන් 200-300 ක් පමණ සේවය කරනවා. මෙය බොහෝ සිවිල් වැසියන් ගැවසෙන තැනක්. සාමාන්‍යයෙන් තරුණයින්, තරුණ මාධ්‍යවේදීන් ගේ ජීවිත මේ ප්‍රහාරයත් සමග විනාශ වුනා කියන තක්සේරුව මට තියනවා ” ඔහු තවදුරටත් සඳහන් කළේ, මාධ්‍යවේදීන් ලෙස සේවය නොකරන පිරිසක් ද ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ගොඩනැගිල්ලේ සිටින්නට ඇති බවය.
ප්‍රහාරය ජාත්‍යන්තර කෝපයක් ඇති කරනු ඇතැයි ද ජාත්‍යන්තර මාධ්‍ය ආයතන විසින් හෙළා දකිනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඉසාඩි පැවසීය.
“යමෙකුට එය කටහඬක් ලෙස හැඳින් විය හැකියි. නමුත් ඔහුට ඔවුන් මරා දැමීමට අවසර ලැබෙන්නෙ නෑ, ඔහු ප්රවෘත්ති නාලිකාවේ අන්තර්ගතයට අකමැති නම්, එහි සේවය කරන පුද්ගලයින් තුරන් කිරීමට ඔහුට අවසර ලබා දෙන්නේ නෑ,” ඊශ්‍රයාල් කැට්ස්ගේ ප්‍රකාශයට මහාචාර්යවරයා පිළිතුරු දුන්නේය.
ඊශ්‍රායලය මාධ්‍ය සංවිධානවලට පහර දුන් පළමු අවස්ථාව මෙය නොවේ. එවැනි ප්‍රහාර සම්බන්ධ පහත් අත්දැකීම් ලෝකයට ලබා දුන් අලජ්ජී රට ඊශ්‍රයාලය ය. ඉරාන රාජ්‍ය රූපවාහිනියට එල්ල වූ ප්‍රහාරය, ඉරානයට එරෙහි යුද්ධයේදී ඊශ්‍රායලය අනුගමනය කරන තීව්ර කිරීමේ ප්රවේශයේ කොටසකි.
ලෝකයේ විශාලම ස්වභාවික ගෑස් නිධියට ඊශ්‍රයාලය විසින් දෙදිනකට පෙර ගිනි තිබ්බේය. ඉරානයේ විදුලි බල පද්ධතියෙන් කොටසක් අක්‍රීය විය. හමුදා ප්‍රධානීන් ඝාතනය කළේය. ඉරානයේ න්‍යෂ්ඨික බලාගාරය විනාශ කරමින් න්‍යෂ්ඨික විද්‍යාඥවරු හය දෙනෙක් මරා දැමූහ. අද මේ මාර්නිතික යුද්ධයේ සිවුවන දිනයයි. බිහිසුණු ව්‍යසනයක අඳුරු ලකුණු පමණක් මේ මොහොතේ ලෝකය ඉදිරියේ ඇත.







