සියයට 50ක බහුතර බලයක් නොතිබුණ බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමත්ව තිබේ.
ඒ අනුව, නගරාධිපතිවරයා ලෙස තේරි පත්ව ඇත්තේ, ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී රත්නායක මුදියන්සේලාගේ සාගර ධීර විශ්වවික්‍රම මහතාය.
ඔහු නගරාධිපතිවරයා ලෙස පත්වන්නේ, අද පැවැති ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද 04ක් ලබා ගනිමින්ය.
නගර සභාවේ ඡන්ද පැවතියේ මාලිමාවට ආසන 06ක් සහ විපක්ෂය ලෙස ස්වාධීන කණ්ඩායම් අංක 1ට මන්ත්‍රී ධූර 05ක්, සමගි ජන බලවේගයට මන්ත්‍රී ධූර 03ක්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මන්ත්‍රී ධූර 1ක් සහ ස්වාධීන කණ්ඩායම් 2ට මන්ත්‍රී ධූරයක් වශයෙනි. ඒ අනුව විපක්ෂයේ මුළු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 10ක් විය.
එහෙත් නරගරාධිපතිවරයා තෝරා ගැනීමේ දි මාලිමාවේ නගරාධිපති අපේක්ෂක සාගරධීර විශ්ව වික්‍රමට මාලිමාවේ ඡන්ද 06 සමග ස්වාධීන කණ්ඩායම් අංක 02 තේරී පත් වූ මන්ත්‍රීවරයාගේ ඡන්දය සහ ස්වාධීන කණ්ඩායම් අංක 01 න් පත් වූ එක් මන්ත්‍රීවරයෙකුගේ ඡන්දය හිමි විය.
උප නගරාධිපති ලෙස ස්වාධීන කණ්ඩායම් අංක 01 ශ්‍රීකාන්ත් නන්දගේ නම ජාතික ජන බලවේගය විසින් යෝජනා කළ අතර ඔහුටද නගරාධිපතිවරයාට හිමිවු ඡන්ද අටම හිමිවිය.







