සෞඛ්‍ය අමාත්‍යාංශයට සම සෞඛ්‍ය උපාධි ධාරීන් අතරින් වෛද්‍ය කාර්මික ශිල්පීන් සහ භෞත චිකිත්සකයින් බඳවා ගැනීමට හෙට දිනට නියමිතව තිබූ පත්වීම් ලබා දීමේ තීරණය නවතාලමින් අභියාචනාධාකරණයෙන් අද නියෝගයක් නිකුත් කළේය.
මෙම නියෝගය ජුනි මස 11 වැනි දින දක්වා බලපැවැත්වෙන පරිදි ලබා දී තිබිණි.
අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ සම සෞඛ්‍ය උපාධිධාරීන් 270ක් විසින් ගොනු කරනු ලැබූ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය. අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නේය.
මෙම පෙත්සමේ වගඋත්තර කරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ සෞඛ්‍ය අමාත්‍යා වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු පිරිසක් නම් කර තිබිණි.
පෙත්සම් කරුවන් සිය පෙත්සම මගින් පසුගිය අප්‍රේල් මස 27වැනි දින 23/89 දරන ගැසට් නිවේදනය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෛද්‍ය කාර්මික ශිල්පීන් සහ භෞත චිකිත්සකයින් සම සෞඛ්‍ය උපාධිධාරීන් අතරින් තරග විබාගයක් තුළින් බඳවා ගන්නා බවට ප්‍රසිද්ධ කළ බව පවසති.
එහෙත් එම ගැසට් නිවේදනයේ 6 වැනි ඡේදයේ සඳහන් කරුණු විමර්ශනයේ දී සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීම කුසලතා පදනම මත සිදුවන බවත් එමගින් පෙත්සම් කරුවන්ට ඉමහත් අසාධාරණයයක් සහ අගතියක් සිදු වූ බවත් පෙත්සම් කරුවෝ සඳහන් කරති.
ඊට හේතු වන්නේ පෙත්සම් කරුවන්ගේ උපාධි ප්‍රතිඵල සම්බන්ධයෙන් එම තරග විභාගයේ දී කිසිදු සැලකිල්ලක් නොදැක්වීමය.
එබැවින් මෙම තරග විභාගයේ ප්‍රතිඵල මත මෙම පත්වීම් ලබා දීම අසාධාරණ සහ අයුක්ති සහගත බව පෙත්සම් කරුවෝ ප්‍රකාශ කර සිටියහ.
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි ලබා දෙන ලෙස ද පත්වීම් ලබාදීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම් කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටියහ.







