අද (මැයි 17) දින දුම්රිය සේවා ගාල්ල, මීගමුව සහ වේයන්ගොඩ වැනි කෙටි දුර මාර්ගවලට පමණක් සීමා වන බව ශ්‍රී ලංකා දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර නිවේදනය කළේ
ඒ අනුව අද දිනයේ ද සියලුම දුර ගමන් දුම්රිය සේවා අත්හිටුවා ඇති බව ඔහු පැවසීය. ඊයේ සිකුරාදා දිනය බැවින් දුරගමන් මගී ප්‍රවාහනයේ දී අතිශය වැදගත් කාර්යයක් පැවරි තිබුණේ රාත්‍රී තැපැල් දුම්රිය වෙතය. ඊයේ එක්වරම රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු වූයේය. මේ තත්ත්වය තුළ බරපතල අපහසුවට පත් වී සිටියේ මෙම දුම්රියෙන් සිය සංචාරක ගමනාන්ත දක්වා ගමන් කිරීමට සිටි විදේශ ජාතිකයින්ය.
දුම්රිය ගමන්වාර අවලංගු කළා පමණක් නොව, ගමන් ආරම්භ කර තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අතරමග නතර විය. නතර වුවා පමණක් නොව දුම්රිය ආරම්භක ස්ථානයට යළි රැගෙන විත් නවතා තැබුවේය.
ඊයේ (මැයි 16) මධ්‍යම රාත්‍රියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් නොවිසඳුණු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දියත් කරන ලද එක්දින සංකේත වැඩ වර්ජනයකින් පසුවය මේ තත්ත්වය උද්ගත වී තිබේ.
ඉදිරි සතිය තුළ තම ගැටලුවලට විසඳුම් ලබා නොදුනහොත්, සංගමය දින නියමයක් නොමැතිව වැඩ වර්ජනයකට යොමු වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න ප්‍රකාශ කළේය.







