හැටන් රංජිත් රාජපක්ෂ –
නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන රැසක බලය පිහිටු වීම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසය සහ සමගි ජන බලවේගය අතර ඊයේ (15) රාත්‍රියේ පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බව දමිළ ප්රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් පැවසීය.
මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පලනි දිගම්බරම් කියා සිටියේ ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් සහ තමන් අතර ඊයේ රාත්‍රියේ කොළඹදී සාකච්ඡාවක් පැවති බවත්, එම සාකච්ඡාවේදි කොටගල, නුවරඑලිය, ආගරපතන, නෝර්වුඩ් යන ප්‍රාදේශීය සභාවල සභාපතිධූර ලංකා කම්කරු කොංග්‍රසයට ලබා දෙන ලෙස සහ හැටන් දික්ඔය නගර සභාව, තලවකැලේ ලිදුල, මස්කෙළිය ප්‍රාදේශීය සභාව සහ අනෙකුත් ඕනෑම පළාත් පාලන ආයතනයක බලය තමන්ට ලබා ගන්නා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්වරයා ඉල්ලීමක් කළ බවත්ය.
වැඩි ඡන්ද දායකයින් පිරිසක් සිටින බල ප්‍රදේශවල සභාපති ධූරය ලංකා කම්කරු කොංග්‍රසයට ලබා ගැනීමට තමන් එකග නැති බවත්, සම සම ලෙස පළාත් පාලන ආයතනවල සභාපතිධූරය බෙදා ගැනීමට ලංකා කම්කරු කොංග්‍රසය එකඟ නොවන්නේ නම් තමන් කිසිදු පළාත් පාලන අයතනයක බලය පිහිටු වීමට කිසිදු පක්ෂයකට සහයෝගය ලබා නොදී එම පළාත් පාලන ආයතනවල විපක්ෂයේ කටයුතු කරන බවත් පලනි දිගම්බරම් කීවේය.
තවද පක්ෂ නායකයින් එකතුවී පළාත්පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් පවත්වන සාකච්ඡා ඊළඟ ජනාධිපතිධූරය ඉලක්ක කරගනිමින් පැවැත්වෙන සාකච්ඡාවක් මිස පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමට පවත්වන සාකච්ඡාවන් නොවන බව ද දිගම්බරම් පැවසුවේය.







