මනම්පිටිය නිමල් ජයරත්න –
මාදුරුඔය ජලාශයට හෙළිකොප්ටර් යානයක් වැටී සිදුවූ අනතුරෙන් තුවාල ලැබ පොළොන්නරුව මහ රෝහලේ, හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන සෙබළුන් හයදෙනාගේ සුවදුක් විමසීම සඳහා ඊයේ (09) සවස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ඇතුළු පිරිසක් රෝහලට පැමිණහ,
ප්‍රතිකාර ලබන සෙබළුන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව හමුදා සාමාජිකයන්ට අවශ්‍ය ඉදිරි ප්‍රතිකාර පිළිබඳ රෝහල් බලධාරීන් සමඟ යුද හමුදාපතිවරයා සාකච්ඡාවක්ද සිදු කළේය.
යුද්ධ හමුදා විශේෂ බලකායේ මාදුරුඔය පුහුණු පාසලේදී 09 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ විසැරයාමේ පෙළපාළියේ නිදර්ශනයක් අතරතුර සිදු වූ ගුවන් අනතුරෙන් විශේෂ බලකායේ සෙබළුන් සිව්දෙනෙකු සහ ගුවන් හමුදාවේ සෙබලුන් දෙදෙනෙකු ඇතුළුව හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, එම ගුවන් අනතුරෙන් හයදෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
අනතුරට පත්වූයේ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳුවුරේ හත්වන බලගණයට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් ගුවන් යානයෙකි.







