ජානක ලියනආරච්චි –
ඊයේ (09) මහ රෑ පැමිණ එක්තරා හාදයෙක් අපරාධ පරීක්ෂණ දෙපාරේතමේන්තුවෙ පැමිණිල්ලක් දැම්මේය. ඒ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තමන්ට මඩ ගසමින් තමන් අපකීර්තියට පත් කරන බව කියමිනි.
මේ පුද්ගලයා මහ මැතිවරණයේ දී මාලිමාව වෙනුවෙන් වැදුන තැනැත්තෙකි. වායි කැලී බල්තසාර්ගේ ඡන්ද සටනේ චරිතයකි. ටියුෂන් කාරයෙකි. දමිල මාධ්‍යයේ දරුවන්ට ටියුෂන් කරන රාජේෂ්වරී ඉන්ස්ටිටියුට් නැමැති ආයතනය ඔහුගේය. නමින් සිවනන්ද රාජා නාරායන් පිල්ලේයි ය.
මේ පුද්ගලයා මේ වනවිට සමාජයේ මහත් කථිකාවට ලක්වන චරිතයකි. සමාජයක විය හැකි බරපතලම ඛේදවාචකය රූපණ වුන අවස්ථාවක මේ තැනැත්තා ගැන කියැවෙන්නේය.
පාලස තුළ තම පාසලේ ගණිත ගුරුවරයා විසින් ලිංගිකව අපයෝජනය කරන ලදුව ඒ පීඩනය දරාගෙන ජීවත්වන දියණියකට ඇයගේ ජීවිතය එපා කරවන ආකාරයේ ගර්හාවක් කළ පුද්ගලයා ඔහු බවට චෝදනා නැගෙන්නේය. ඒ ටියුෂන් පන්තියට ගොස් පැමිණි දැරිය ඇය ජීවත් වූ කොටහේන EXPO මහල් නිවාස සංකීර්ණයේ පස්වන මහලෙන් පැන සිය දිවි හානි කරගෙන තිබිණි. ඒ පසුගිය අප්‍රේල් 29 වැනිදාය.
අම්ෂා දැරිය සිය දිවි හානි කර ගැනීමට පදනම් හේතුව ලෙස ඉදිරිපත් වන්නේ , බම්බලපිටිය රාමනාදන් හින්දු බාලිකා විද්‍යාලයේ ගණිත ගුරුවරයාවන සන් සන්කරන් නැමැත්තා විසින් අපයෝජනය කළ බව කියන සිදුවීමය. එම අපයෝජනය සිදුවී ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් වෛද්‍ය විද්‍යානුකූලව සහතික කර තිබුණු බව ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී කියැවිනි. පාසලින් පැමිණි බලපෑම් මත දැරිය පාසලින් ඉවත්කරගන්නට වූ ආකාරය මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී හෙළිදරවු කළේය.
දැරිය සිය දිවි නසා ගන්නේ මේ අපයෝජන සිද්ධිය මාස හතරක් තිස්සේ දරාගෙන හිඳීමෙන් අනතුරුවය. ව්‍යසනයෙන් මාස හතරකට පසු දැරිය සිය දිවි නසා ගැනීමට පොළඹවන ආසන්නම හේතුව උක්ත ටියුෂන් ගුරුවරයා විසින් අදාල අපයෝජන සිද්ධිය මතු කර සිය පන්තියේ දී සෙසු දැරියන් ඉදිරිපිට මෙම දියණිය ගර්හාවට ලක් කිරීම බව මේ වනවිට කියැවෙමින් ඇත.
මේ සම්බන්ධව දැඩිව සමාජ ප්‍රතිරෝධයක් මතුවෙද්දී ඊයේ (09) රෑ මෙම ටියුෂන් ගුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දැම්මේය. ඒ තමන්ගේ චරිතය ඝාතනය කරන බව කියමිනි. එමෙන්ම අද පාර්ලිමේන්තුවේ දී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසුවේ මේ ටියුෂන් ගුරුවරයාට තර්ජනයක් ඇතැයි කියමින් මේ වනවිට එම නිවසට පොලිස් ආරක්ෂාවත් යොදවා තිබෙන බවය.
පොලිසියේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග අපට කියන්නේ මේ සිද්ධිය සම්බන්ධව මුල්ම අවස්ථාවේ පැමිණිල්ලක් ඉදිරිපත්වන විට විමර්ශන කාර්යය කරගෙන යෑමට ඉඩ ලැබුණා නම් මේ තරම් රටේ ආන්දෝලනයක් මේ සිද්ධිය සමග ඇති වී ආණ්ඩුටත් නාගන්නට සිද්ධවන්නේ නැති බවය. එනම් මේ ටියුෂන් ගුරා සම්බන්ධව කලින් පැමිණිල්ලක් ලැබී ඇති බවය.
අප දන්නා පරිදි මේ ටියුෂන් ගුරුවරයා ගැන මුල්ම පැමිණිල්ල ළමා හා කාන්තා කාර්යාංශයට යොමු කරන්නී සිවිල් සමාජ ක්රියාකාරිණියකවන වෛද්‍ය තුෂ් වික්‍රමනායක විසිනි. ඇය එම පැමිණිල්ල වාචිකව මෙන්ම ලිඛිතව ද ඉදිරිපත් කරන්නීය. මේ පහත දැක්වෙන්නේ ඇය විසින් සිය ෆේස් බුක් ගිනුමේ පළකර තිබූ උක්ත පැමිණිල්ලය.

මේ සිදුවීම දැන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සංවාදයට ලක් වෙමින් ඇත්තේය. ඊයේ පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳව පුලුල් සංවාදයක් ඇති විනි. සිද්ධිය සම්බන්ධ විමර්ශනවලට බාධාවන තත්ත්වයක් උද්ගත වී ඇති බව ද පාර්ලිමේන්තුවේ දී කියැවිනි. චූදිත ටියුෂන් ගුරුවරයා පිළිබඳව විමර්ශනයක් සිදුකරනවා වෙනුවට ඔහුගේ නිවසට පොලිස් ආරක්ෂාව ලබා දීම තමන් විශ්මයට පත් කරන බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසුවේය.
ආණ්ඩුව චෝදනා කරන්නේ විපක්ෂය මේ දැරියගේ මරණය විකුණාගෙන කන බවය. මේ විදිහට එක් එක් කතා පාර්ලිමේන්තුව තුළ ගෙනැවිත් අතහරින විට විමර්ශනවලට බාධා වන බවය. මෙවැනි සිදුවීම් සිදුනොවන්නට මින් පසු යාන්ත්‍රණයක් හදන බවය. මේ ප්‍රශ්න කතා කරන්නට ශික්ෂණයක් සහ ක්‍රමවේදයක් තිබිය යුතු බවය.
එහෙත් සමාජය ප්‍රශ්න කරන්නේ ළමා අපයෝජක ගුරුවරයාගේ වැඩ තහනම් කර විමර්ශනයක් නොපවත්වා පාසලෙන් වෙනත් පාසලකට මාරු කරන්නේ නම් නව පාසලේ දරුවන්ගේ ජීවිත සුරක්ෂිත ද යන්නය. දැනටමත් මේ ගුරුවරයා මාරු කර යැවු පාසලේ දරුවෝ එළියට බැස උද්ඝෝෂණයකය. එනම් ආණ්ඩුව ආයෙත් ගැටලුවකය.
දෙවැන්න ටියුෂන් ගුරුවරයාට එරෙහි පැමිණිල්ලක් තිබෙද්දීත් විමර්ශන ප්‍රමාද කුමක් නිසා ද යන්නය. ඔහු සම්බන්ධව දක්වන විශේෂ ඇල්මක් පිළිබඳ හැඟීමක් තමන්ට දැනෙමින් ඇති බව මිනිසුන් කියන්නේය.
මේ දැඩි ප්‍රශ්න කිරීමට සමග ඊයේ රාත්‍රී 7ට පමණ ටියුෂන් ගුරුවරයා සීඅයිඩියට ගොස් තමන්ගේ කීර්තිනාමයට සහ ජීවිතයට තර්ජනයක්වන ආකාරයේ ප්‍රචාර ව්‍යාපෘතියක් සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක බවට පැමිණිල්ලක් ගොනු කරන්නේය.
තවත් පැය තුනකින් එනම් ඊයේ රාත්‍රී 10.30ට පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ තුන්වන පාර්ශවයකින් ලැබුණු පැමිණිල්ලක් මත අදාල ටියුෂන් ගුරුවරයා සම්බන්ධව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය මගින් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවය. මේ පොලිසිය මගින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය ය.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය බම්බලපිටිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවය.
මාලිමා ආණ්ඩුව තේරුම් ගත යුත්තක් තිබේ. මේ සමාජයෙන් රූපණය වන්නේ මේ රටේ විකෘතිය ය. පුද්ගලයින් ඒ විකෘතියේ ප්රකාශනයන්ය. මාළිමාවට ඡන්ද ලක්ෂ 69ක් ලැබුණේ මේ මහා විකෘතියේ බහුතර කොටසක යථාර්ථය ද සමගය. මාලිමාව දේශපාලනය කළ පළියට ඒ විකෘතිය සුවපත් වන්නේ නැත. තමන් විශ්වාස කරන, මේ වනවිට තමන් තුළින්ම ප්‍රශ්න කෙරෙමින් සිටින පරම පාරිශුද්ධ ෆැන්ටසියේ කෑලි වන්නේත් නැත.
පාදඩයන්ට දඬුවම් කිරීමේ දී විමර්ශනය කිරීමේ දී පාදඩයා මාලිමාවෙක් ද නැද්ද යන්න නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීමට හෝ නොකර සිටීමට හේතුවක් වන්නේ නම් අප ඇස් ඉස් මස් ලේ දී හදා ගත් ජනතා ආණ්ඩුව බව කී මේ ආණ්ඩුවට කෙළවෙන්නට එපමණක් වුවත් සෑහෙන බව ලියා තබන්නේ සංවේගයෙනි.
විෂය භාර ඇමති සරෝජා පොල් රාජ් කියන්නී ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක් ලැබුණා නම් විමර්ශනයක් කරන්නට තිබූ බවය. උද්ඝෝෂණ කරන්නට අවශ්‍ය නැති බවය. මෙවැනි නින්දිත අපරාධයක් සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කරන්නට පැමිණිල්ලක් ලැබෙන තුරු බලා සිටිය යුතුව ඇතැයි නීතියක් නැති බවට නීතිඥ අජිත් පී. පෙරේරා ඊයේ පාර්ලිමේන්තුවේ දී පැහැදිලි කළේය. අනෙක් අතින් ඇමතිනිය නොදන්නවාට මේ තත්ත්වය වර්ධනය වෙමින් පැවති මැයි මස 06 වැනිදාම තුන්වන පාර්ශවයක් විසින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක් කළ බවට ඊයේ රෑ නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය කියන්නේය. මේ පොලිසිය නිකුත් කළ නිවේදනය ය.

සිදුවීමක් සම්බන්ධව තම තමන්ගේ විෂය පථයට අදාල මූලික හැදැරීමකින් හෝ තොරව කෙරෙන ප්‍රකාශ අවසානයේ තමන්ගේ දේශපාලන භාවිතය සම්බන්ධ ව්‍යසනයකින් කෙළවරවන බව පසුගිය කාලය පුරාම මාළිමාව පෙන්වා දුන්නේය. මේ එම ස්වරූපය සමාජයට තදින් දැනුන අවස්ථාවකි.
මේ අනාවරණය වෙමින් ඇත්තේ මාලිමා ආණ්ඩුව විසින් බල්තසාර්ගේ දේශපාලන සහායක නාරායනපිල්ලේයි සිවේන්ද්රරාජා තරාදියේ එක් පසෙකටත් ලක්ෂ 69ක ජනතා අපේක්ෂාව අනෙක් පසටත් දමා බර තුළනය කරන්න හැදූ විකෘතියක්දැයි අප දන්නේ නැත.
සමාජයක හදවත කුඩුකර දැමූ තිරිසන් ඛේදවාචකයක් සම්බන්ධව පාරට බැස යුක්තිය ඉල්ලන්න නම් මිනිස්සු ජනතා ආණ්ඩු පත් කරගත්තේ නැත. අපට ඇති ගැටලුව ප්‍රශ්නයක් මතුවීමේ දී එය කළමනාකරණය කර නොගෙන මේ තරම් ඇනගැනීමට තරම් මේ ආණ්ඩුවේ ගොබ්බකමය.







