ජානක ලියනආරච්චි –
බලය සඳහාම වූ මළ පෙරේතකම සහිත වඳවී යන ගර්හිත දේශපාලනයේ අජූව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (07) යළිත් පෙන්වා දුන්නේය.
දේශපාලනය විලි ලජ්ජාවකින් තොරව ගහන තුච්ඡ ගේම් හරහා ලබා ගන්නා බලය පිළිබඳ කතාවක සිට ප්‍රතිපත්තිමය ගැඹුරකින් උපදින සංවාදයක් දක්වා පරිවර්තනය වී ඇති බව මේ අසරණ මනුෂ්‍යයාට තවමත් වටහා ගත නොහැකි වීම අනුකම්පා සහගතය.
ඔහුගේ තාත්තාගේ කාලයේ කළ දේශපාලනය ඒ ආකාරයෙන්ම කරන්නට ගොස් ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී ලොන්ත පෝල් වෙන්නට ඇනගත් සජිත් ප්‍රේමදාස මොනතරම් හිස් ගොබ්බයෙක් දැයි අද රට හමුවේ ප්‍රකාශ වන ආකාරය බලා සිටියේ සංවේගයෙනි. මක්නිසාද යත් මේ මනුස්සයා ආණ්ඩුවකට ආශීර්වාදයක් වූ විපක්ෂ නායකයෙක් වීම රටක ආණ්ඩුවක දේශපාලන සෞඛ්‍යයට කෙසේ වෙතත් ජනතාවට බිහිසුණු විපත්ති දායක තත්ත්වයක් උද්ගත කරවිය හැකි බැවිනි.
විපක්ෂය යනු දේශපාලන පක්ෂයක නමක් නොවේ. විවිධ දේශපාලන මත සහ ප්‍රතිපත්ති ධාරාවන් සමාජය විසින් කියවා ගන්නා යථාව රටට ප්රකාශවන ආකාරය ය. ඔවුන් ජනතා සම්මුතියෙන් පළාත් පාලන ආයතනයකට තේරී පත් වෙන්නේ ඔවුන් විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති සඳහා ලබා දෙන ජනතා අනුමැතියේ ප්‍රමාණයටය.
විපක්ෂයක් තුළත් එකට එක් විය හැකි පොදු එකඟතාවයන් ගොඩ නගා ගත හැකි කණ්ඩායම් තිබේ. එවැනි සාර්ථක සන්ධාන ගොඩ නැගුණ අවස්ථා ද ඉතිහාසයේ තිබේ.
එහෙත් විපක්ෂයේ සියලුම දේශපාලන කණ්ඩායම් එකට එකතු වී විපක්ෂය නැමැති දේශපාලන පක්ෂයක් නිර්මාණය කර එයට නායකත්වය දී බලය ලබා ගන්නට යෝජනා කරනා විපක්ෂ නායකයෙක් ඇත්නම් ඒ සජිත් ප්‍රේමදාසය. නන්නත්තාර වෙන්නට පැරදී කුජීතව සිටින විටත් මොකෙක් හෝ සමග පූට්ටු වී දේශපාලන ආත්මය විනාශ කරගනිමින් සජිත් මේ යෝජනා කරන්නේ ආණ්ඩුවක් අල්ලන්න නොව, ප්‍රාදේශීය සභාවක හෝ නගර සභාවක බලය ලබා ගන්නටය.
ප්‍රාදේශීය සභාවක බලය වෙනුවෙන් මේ ආකාරයෙන් පදිරිවන සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති නොවීම සම්බන්ධව රටේ ජනතාව අදහන දෙවි කෙනෙකුට ස්තුති වන්ත විය යුතුව ඇති බව විශ්වාස කරමු.
සජිත් අද කීවේ විපක්ෂයේ සියලු බලවේග එකතු කරගත් ගමනකට තමන් නායකත්වය දීමට සූදානම් බවය. ඔහු කියන්නේ ඔහුට විපක්ෂයේ සියලු පක්ෂ එකතු කර පලාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ජනතාව පණිවිඩයක් දී ඇති බවය. ඔහු මෙසේ කීවේය.
“රටේ ජනතාව අපට ලබා දී තිබෙන පණිවිඩය තමයි විපක්ෂයේ සියලු දෙනා එකට එකතු කරගනිමින් කටයුතු කිරීම. රටේ ජනතාව බොරුවට තිත තිබ්බා. රටේ ජනතාව අනුමත කළා සත්‍යවාදී මහජන සේවාවක්. බොරුවට තිත තබා බොරුව පරාජය කරමින් සත්‍යවාදී ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකතු විය යුතු යැයි කියන ජන මතය තුළ ඒ අභියෝගාත්මක වගකීම ඉෂ්ඨ කරන්නට අපි සූදානම්. ”
“ඊට නායකත්වය ලබා දෙන්නට අපි සුදානම්. ”
“විශේෂයෙන්ම ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන පුද්ගලයින් හැටියට ජන මතයට හිස නමා විපක්ෂයේ සියලුම දෙනා එකට එකතු කරගනිමින් ජනතාව බලාපොරොත්තුවන විශිෂ්ට ජනතා සේවාවක් විනිවිද භාවයෙන් යුක්තව ප්‍රතිපත්ති ගරුකව රටේ ජනතාවට විශාල සේවාවක් ඉෂ්ඨ කිරීම අපේ අරමුණයි.”
“ඒ නිසා මේ එකමුතුවට නායකත්වය ලබා දෙන්න අපි සුදානම්. ”
සජිත් එසේ කියනවිට රන්ජිත් මද්දුම බණ්ඩාර අද කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ දේශපාලනයේ නයි මුගටි වෛරයෙන් යුතු සදාකාලික සතුරන් නැති බවය. එමෙන්ම සදාකාලික මිතුරන් නැති බව ද කී රන්ජිත් මද්දුම බණ්ඩාර දැන් විපක්ෂයේ සියලු දෙනා මිතුරන් වී සිටින බව ප්‍රකාශ කළේය. පොහොට්ටුව සමග කිසිම ගැටලුවක් නැති බව කී සමගි ජන බලවේගය දැන පොහොට්ටුව ඉන්නේත් විපක්ෂයේ බව පැහැදිලි කළේය. විපක්ෂ නායකයාටම හරියන මහලේකම්වරයා ය. අඩුම තරමින් සියලුම හැඩයේ ප්රතිරෝධයන් එකට එක් කරගෙන ප්‍රාදේශීය සභාවක් තබා මරණාධාර සමිතියක්වත් ඉදිරියට ගෙන යන්නට බැරිබව නොතේරන තරම් මේ අසරණයින් විකල් වී ඇත්තේය.
විපක්ෂයේ සෙසු පක්ෂ කියන කතාව
ඇත්තටම විපක්ෂ නායකයා දැන් ඉන්නේ විපක්ෂයේ ජෝකරයාට ඇඳගෙනය. පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මේ ගැන කීවේ ප්‍රාදේශීය සභාවක් හෝ නගර සභාවක් පිහිටුවන්නේ නම් ඊට පෙර රටේ ජන මතය කියවා ගත යුතු බවය. ඉදිරියට පොහොට්ටුවේ දේශපාලන හැසිරීම පිළිබඳ තීන්දුව ගත යුත්තේ සිය දේශපාලන මණ්ඩලය විසින් බවය.
“දේශපාලනිකව කාලීන තීන්දු ගන්නවා මිස එක් එක් පුද්ගලයින්ට අවශ්‍ය තීන්දු ගන්නේ නැතිව ඉන්න තමයි අප අදහස් කරන්නේ. “නාමල් කීවේය.
මේ අතර පොදු ජන එක්සත් පෙරමුණ අද මාධ්‍ය හමුවක් කැඳවා සජිත්ට කිව යුතු කතාව කීවේය. පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පොහොට්ටුවේ ස්ථාවරය පැහැදිලි කරමින් සජිත් ප්‍රේමදාසට දන්වා සිටියේ එවැනි එකතුවීමක් සිදුනොවන බවය.
” මෙතන ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයක් තියනවා. පොදුජන පෙරමුණ කියන්නෙ හැමදාම මේ රටේ ජාතිකත්වය වෙනුවෙන් ජාතික ආර්ථිකයක් වෙනුවෙන් පෙනී සිටි පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ජාතිකත්වය වෙනුවෙන් කිසිදා පෙනී නොසිට නියෝ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් පිළිබඳ විශ්වාසය තැබූ පක්ෂයක්. එවැනි පක්ෂ දෙකක් සම්බන්ධව එකතු වීම රටේ ජනතාවට අපි කරන අසාධාරණයක්.”
සර්ව ජන බල පක්ෂයත් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා කීවේ කළේ පළාත් පාලන ආයතන පිහිටුවීමට තම පක්ෂය කිසිදු දේශපාන පක්ෂයක් සමග එක් නොවන බවය.
“ඔබේ භාෂාවෙන් කිව්වොත් මුක්කු ගහන්නට බලාපොරොත්තු වෙන්නේ නෑ.” පක්ෂයේ නායක දිලිත් කීවේය.
එක්සත් ජාතික පක්ෂයත් සජිත් ප්‍රේමදාස දෙන නායකත්වය ගැන කතා කරන්නේ අවඥාවෙනි. එක්ව තරග කිරීම ප්‍රතික්ෂේප කළ සජිත් එක්ව පළාත් පාලන ආයතන පිහිටුවීමට නායකත්වය දීමට සැරසීම එජාපයට ද විහිළුවක් වී ඇති ආකාරය වාර්තා වේ.”
” එක් වෙනවද කියලා බලන්නවත් තම ඒ ගොල්ල අපට ආරාධනා කළේ නෑනේ… ” එජාප මහ ලේකම් තලතා කීවේ එසේය.
සජිත් කියන පණිවිඩය
දැන් සජිත් කියන්නේ විපක්ෂයේ සියලු පක්ෂ එකතු වී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්නට ඔහුට පණිවිඩයක් දී ඇති බවය. මේ පණිවිඩය මොකා දුන්නා දැයි දන්නේ නැත. ජනතාව කියා දී ඇත්තේ වෙනත් පණිවිඩයක්වන බැවිනි. ඒ පණිවිඩය පොදු සමාජය කියවා ගන්නේ ඔය හිඟන දේශපාලනය දැන්වත් නවත්වන්නැයි කරන අනතුරු ඇඟවීමක් ලෙසය .
ජාතික ජන බලවේගය පලාත් පාලන ආයතන 265ක බහුතර ආසන සංඛ්‍යාව දිනා ගන්නා විට සමගි ජන බලවේගය දිනා ගන්නේ පලාත් පාලන ආයතන 14ක බහුතර බලය ය. ජාතික ජන බලවේගය ඡන්ද හතලිස් පන් ලක්ෂ තුන් දහස් නවසිය තිහක් ලබා ගන්නා විට සමගි ජන බලවේගය ලබා ගන්නේ ඡන්ද විසි දෙලක්ෂ පනස් අට දහස් හාරසිය අසූවකි.
මේ තරම් කට්ට කුජීත වී සිටින සජිත් ප්‍රේමදාස දැන් කියන්නේ තමන්ට වඩා දෙගුණයක් ඡන්ද ලබාගෙන තමන්ට වඩා 19 ගුණයක් වැඩියෙන් පළාත් පාලන ආයතනවල සභිකයින් දිනාගෙන සිටින කණ්ඩායමට බලය පිහිටුවන්නට නොදී සියලුම පැරදුන කණ්ඩායම් එක්ව පලාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට නායකත්වය දීම සදහා ජනතාව පණිවිඩයක් දී ඇති බවය.
ඔහොම කතා අපේ ගමේ ගස් නගින ජෙමාත් කියන්නේය. හැබැයි මෑන් මෙහෙම කතා කියන්නේ කණ පැලෙන්නට කසිප්පු බී ගංජා අතක් ඇද්දාටත් පස්සේය.
සජිත් ප්‍රේමදාසට කිව යුතුව ඇත්තේ තමන් කැමැත්තෙන් අන්දරේට ඇඳ ගන්නවා නම් ඒ තමන්ගේ කැමැත්ත බවය. එහෙත් සජබ අනාගත නායකත්වයන් ලෙස රට දකින හර්ෂලාට ඉරාන්ලාට පමණක් නොව, තමන්ට ඡන්දය දුන් පාක්ෂිකයින්ට පවා රෙද්දක් ඇඳන් පාරේ යන්නට ඉඩ හසර සැලසීමට සජිත් ප්‍රේමදාසට වගකීමක් ඇති බව අපි විශ්වාස කරමු.







