සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු ගෙල වැලලාගෙන සියදිවි නසාගැනීමට හේතු වූයේ ඔහුට නවකවදය ලබාදීමට බවට සැකකරමින් එම විශ්වවිද්‍යාලයේම තවත් සිසුවෙකු විසින් සමනළවැව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පවසයි.
ඒ අනුව මෙම සිසුවාගේ සියදිවි නසාගැනීම සඳහා හේතු වූයේ ඔහුට නවකවදය ලබාදීම ද ? යන්න පිළිබඳව මෙන්ම එසේ නවකවදය ලබා දුන්නේ නම් එම පුද්ගලයන් හදුනාගැනීම සඳහා ද මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බව ඔහු පැවසීය.
නවකවදය යනු අපරාධමය වරදක් බැවින් යම්කිසි තැනැන්තෙකු නවකවදය ලබාදීම සඳහා සහභාගි වී තිබේ නම් ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර ඔවුන්ව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අනිවාර්යෙන් කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පවසා සිටියේය.
කෙසේ වෙතත් නවක වදය යනුම සරසවියට ආධුනික පළමු වසරේ සිසුන් ඉලක්ක කරගෙන මුදාහරින ම්ලේච්ඡ කමක් වීමත් නවක වදයට සරසවියේ දෙවැනි වසරේ සිසුවෙක් ලක්වන්නේ නැති බවත් සරසවිය පාර්ශවයෙන් පවසයි. මේ සිදුවීම ගැන පුළුල් ලෙස විමර්ශනයක් සිදුකළ යුතු බව විශ්වාස කරන සරසවි පරිපාලනය පෙන්වා දෙන්නේ සිසුවා විසින් ලියා ඇතැයි දැක්වෙන ලියුමක් සම්බන්ධව අවධානය යොමු කිරීම මෙ විමර්ශනයට අදාලව වැදගත් බවය.







