අද දවස අවසන් වනවිට දළදා වන්දනා කර ඇත්තේ 65000ක් පමණක් බව සිරි දළදා වන්දනාව සම්බන්ධව විද්‍යාත්මක දත්ත සපයන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මධ්‍යම පළාත් සංගමය විසින් නිකුත් කර ඇති විද්‍යාත්මක දත්ත අනුව තහවුරු කර තිබේ.
ඒ අනුව මේ වනවිට දළදා වන්දනා කර ඇති මුළු පිරිස 4,86,000කි. ප්‍රධාන පෝලිමෙන් පිට මේ දින 09 තුළ දළ වශයෙන් 60, 000ක් දළදා වන්දනා කරවා තිබේ. ඒ අනුව පෝලිම්වල සිටි ජනතාව අතරින් ගෙවුනු දින 09 තුළ දළදා වඳ ඇත්තේ දල වශයෙන් 4, 26,000කි.
එම දත්ත අනුව අද (26) දිනයේ ආබාධිත සහ විශේෂ අමුත්තන් ලෙස විශේෂිත පෝළිමෙන් දළදා වැඳ පිටවූ පිරිස 7000ක් බව ද හෙළිදරවු වී ඇත. ඒ අනුව අද දිනයේදීත් ආබාධිත වූවන් සඳහා වෙන් කළ පෝලිමේ පැමිණි වරප්‍රසාද ලාභින් අති විශාල පිරිසක් දළදා වැඳ ඇති බව තහවුරු වී තිබේ. ඒ අනුව දින ගණනක් පෝලිම්වල රැඳී සිටි පිරිස අතරින් අද දළදා වැද ඇත්තේ දළ වශයෙන් 58000ක් පමණි.

88000කට ආසන්න පිරිසක් අදත් රැය පහන් කරන්නේ පෝලිම්වල
සංගණනයේ දත්ත ප්‍රකාරව මේ වනවිට තවත් 88000කට ආසන්න පිරිසක් පෝලිම්වල රැඳී සිටිති. ගැටලුව ඇති වන්නේ මේ වනතාක් දිනකට උපරිම වශයෙන් දළදා වන්දවන්නට හැකි වී තිබෙන්නේ 68000කට ආසන්න පිරිසක් පමණක් වීමය. ඒ අනුව පෝලිම්වල සිටින 88000කට දළදා වැන්දවීම බරපතල ගැටලුවක් වී ඇත. මේ පරිස් අඩුම තරමින් දින 03ක් මහ මග රැය පහන් කළ මිනිස්සුය. අනෝරා වැස්සේ තෙමි තෙමී නිදි නොලැබ කෑමක් නොලැබ වැසිකිලියකට යෑමට නොහැකිව අන්ත පීඩාවට පත් වී හොඳටම හෙම්බත් වූ මිනිස්සුය.
හෙට දිනයේත් පෝලිමෙන් පිට හත් දහසකට ආසන්න පිරිසක් දළදා වන්දවනු ලැබුවහොත් ලක්ෂයකට ආසන්න පිරිසක් දළදා වන්දනාවට සැරසී සිටින අතර පෝලිමේ සිටින පිරිස්වලින් අඩුම තරමින් තිස් දහසකට දළදා වන්දනාව අහිමි වීමට නියමිතය.

අද උදෑසනම මේ වීඅයිපී කුපාඩිකම නවත්වන ලෙස අප වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටියේ මේ තත්ත්වය නිසාය. එහෙත් පෝලිමෙන් පිට හොරෙන් වැන්දවූවා පමණක් නොව ත්‍රිවිධ හමුදාවේ නිල ඇඳුම් ධාරීහු එළිපිට මිනිස්සු පෝලිම්වලට රිංගවීමත් අඩු නැතිවම කළහ.
අඩුම තරමින් ජනාධිපතිවරයා මැදිහත්ව මේ පෝලිම්වල දුක් විඳි මනුෂ්‍යයන් වෙනුවෙන් තව එක් දිනයක් දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට මැදිහත්වීම හෝ වෙන ගත යුතු සුදුසු පියවරක් පිලිබඳ කල්පනා කළ යුත්තේ මේ මනුෂ්‍යයන් සම්බන්ධව තබා සියම් නිකායෙන් පිට සංඝයා වහන්සේ සම්බන්ධව හෝ මේ දළදා භාරකාර හිමිවරුන්ට වගක් නැති බැවිනි.
දියවඩන නිලමේගේ කෙරුවාව මේ වනවිට මුලු රටටම හෙළිදරවු වී තිබේ. මේ තත්ත්වය කළමනාකරණය කරගැනීමේ බලයක් නැතිනම් මේ සිරිදළදා වන්දනාව අවසානයේ ෆේල් වී කුජීත වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක බව මේ වනවිට පෙනී ගොස් ඇත.







