ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොලොන්නාව ප්‍රාදේශීය සභා අපේක්ෂක ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධයෙන් සැක කරන පිය පුතු දෙපළකට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද විදෙස් ගමන් තහනමක් නිකුත් කළේය.
ඒ වැල්ලම්පිටිය පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙලගෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.
ඊයේ රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියේය. කොලොන්නාව සාලමුල්ල ලක්සඳ සෙවනේ හය වැනි මහලේ පිහිටි ඥාති නිවසක රැඳී සිටිය දී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබිණි.
ඝාතකයින් මහල් නිවාස සංකීර්ණයේ පඩිපෙළ ඔස්සේ අදාල නිවසට පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලිසිය පැවසුවේය. එල්ල කළ වෙඩි ප්‍රහාර 8කින් වෙඩි ප්‍රහාර හතරක් ඩෑන් ප්‍රියසාද් වෙත වැදී තිබිණි.
මේ දක්වා සිදුවූ පරීක්ෂණ මත මෙම ඝාතනය පුද්ගලික ආරවුලක් මත සිදුවූ ඝාතනයක් බව විමර්ශන අංශ සැක පහළ කරයි. 2022 වසරේ ජුලි මස 26 වැනිදා ඩෑන් ප්‍රියසාද්ගේ සොයුරා වූ තිලිණ ප්‍රියසාද් නැමැත්තා ඔරුගොඩවත්ත ගුවන් පාලම යට දී කපා කොටා ඝාතනය කර තිබිණි.
එදා ඝාතනය කළ තිලිණ ප්‍රියසාද් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබිණි. ඔහුට එරෙහිව අපරාධමය වැරදි සම්බන්ධව නඩු දෙකක් විභාගවෙමින් පැවතුනේය. ඩෑන් ප්‍රියසාද්ගේ සොයුරු තිළිණ ප්‍රියසාද්ගේ ඝාතනය සම්බන්ධව ඔවුන්ගේම ඥාති පාර්ශවයක් වෙත චෝදනා එල්ල වූයේය.
මීට දින කීපයකට පෙර ඩෑන් ප්‍රියසාද් මෙම සැකකරුවන් වූ ඥාතීන්ට අයත් ත්‍රී රෝද රථයකට පහර දීම සම්බන්ධයෙන් ද පොලිසියට තොරතුරු ලැබී තිබේ. පොලිසිය පවසන්නේ ඩෑන් ප්‍රියසාද් ඝාතනයෙන් පසු එම පාර්ශවයේ පිය පුතු දෙදෙනෙක් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවය.
ඒ අනුව අද දහවල් පොලිසිය කරුණු වාර්තා කිරීමෙන් පසු ඔවුන් දෙදෙනාට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කළේය. මේ වනවිට සිදුකළ විමර්ශනවලින් මෙම ඝාතනයට මෙම පිය පුතු දෙපළගේ සම්බන්ධය තහවුරු වනබව පොලිසිය අනාවරණය කරයි.
ඝාතනය වනවිට ඩෑන් ප්‍රියසාද් 39 වැනි වියේ පසුවූයේය. ඔහු සංවිධාන කීපයක ක්‍රියාකාරිකයෙක් ලෙස ද දේශපාලන කටයුතුවල නිරත වෙමින් සිටියේය. පොදුජන පෙරමුණ වෙනුවෙන් මෙවර කොළොන්නාව ප්‍රාදේශීය සභාවට නම් කළ අතිරේක ලයිස්තුවට ඔහු නම් කර තිබුණ බව එම පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ ගමගේ පැවසුවේ අප්‍රේල් 01 වැනිදා පාර්ලිමේන්තුව අසල කේක් ගෙඩියක් කපමින් ඔහු ප්‍රකට කළ දැඩි දේශපාලන ප්‍රතිවිරුද්ධ භාවයට ඔහු ජීවිතයෙන් වන්දි ගෙව්වා දැයි සැක තමන්ට සිතෙන බවය.
අද මාධ්‍ය හමුවක් කැඳවා නීතිඥ මනෝජ් ගමගේ කීවේ ඩෑන් ප්‍රියසාද් යනු පාතාල සාමාජිකයෙක්, කුඩු ජාවාරම් කරුවෙක්, අපරාධකරුවෙක් නොවන ආකාරය තමන් සහතික වන බවය. මෙම මරණයේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවත් මරණය සම්බන්ධව තමන්ට දැඩි සැකයක් පවතින බවත් මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක කීවේය.







