මහවැලි ගඟ දෙගොඩතලා ගලමින්ය. ඇදවැටෙන මහා වරුසාව බියකරු දුඹුරු පැහැයක් දරමින් ජලකඳ සුළි නන්වා ඇත. කටුගස්තොට පාලමේ සිට ගඟ දෙස බලනවිටත් ඇඟ හිරිවැටී යනු සේය.
වෙලාව ඊයේ (10) දහවල් 2 ට පමණ ඇත. පාලම මතින් පා ගමනින් යමින් සිටි හුදකලා තරුණියකි. ශෝකාකූල මුහුණක් සහිතව සිටි ඇයගේ වියලි මුහුණේ කඳුළු වියැකී තිබිණි. තියුණු අපේක්ෂා භංගත්වයක් සහිත සිටි මේ තරුණිය ගැන විශේෂ අවධානයක් යොමු කිරීමට කඩිමුඩියේ පාලම මතින් යන එන කිසිවෙකුට නිනව්වක් තිබුණේ නැත.
පාලම මැදට පැමිණි තරුණිය එක් වරම බිහිසුණු ජලකඳට පාළම මතින් පනිනා අයුරු පමණක් එතැන සිටි පිරිසට යන්තමින් ඇස ගැසී තිබිණි. පිරිස් පාලම මත සිට කෑකෝ ගසමින් සිටියහ. තරුණිය ජල කඳ මත ගිලෙමින් පාවෙමින් යනු පෙනුණි.
මේ ඝෝෂාව ඒ මොහොතේ එම ස්ථානයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි තරුණ පොලිස් නිලධාරියෙකුට ඇසිනි. වහාම එම ස්ථානායට දිවගෙන පැමිණි පොලිස් නිලධාරියා සිය නිල ඇඳුම ගලවා පාලම මත දමා සුළි නැගෙන ජල කඳට කටුගස්තොට පාලම මතින් පැන්නේය. දියේ ගිලෙමින් මතුවෙමින් මරණය සමග පොර බදන තරුණිය වෙත පිහිනා ගිය පොලිස් නිලධාරියා ඇයව රැගෙන ඉවුරට පිහිනා පැමිණියේය.
ඒ වනවිටත් අසාධ්‍ය තත්ත්වයේ සිටි තරුණිය වහාම කටුගස්තොට රෝහලට ඇතුළත් කෙරිනි. මේ මොහොත වනවිට ඇය ජීවතුන් අතරය. ජීවිතය පරදුවට තබා ජීවිතයක් බේරා ගැනීමට ඉදිරිපත් වූ මේ විශිෂ්ට පොලිස් තරුණයා තවම 24 හැවිරිදිය. ඔහු කටුගස්තොට පොලිසියේ රථ වාහන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් 103984 නිලුපුල් හේරත්ය.
පොලිසිය අප්පිරියාවන විට පොලිසියට ආදරය කරන්නට හිතෙන්නේ මේ වැනි විශිෂ්ට මිනිසුන් නිසාය. පොලිස් දෙපාර්තමේන්තුව කොලේ ඉරාගෙන ඇති තරම යන්තම් හෝ වැහෙන්නේ මේ වැනි පොලිස් නිලධාරීන් නිසාය. ඔවුන් විෂයෙහි වැඩි බරක් තබා ඇගයීම මේ මොහොතේ තමන් සමාජය ඉදිරියේ විලි ලජ්ජාවට පත් වී ඇති ප්‍රමාණය වසා ගැනීමට හෝ කළ යුතුව ඇති බව අපි විශ්වාස කරමු.
අනතුරට මුහුණ දුන් තරුණිය කටුගස්තොට ගුහාගොඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියකි. ඇය පුද්ගලික ආයතනයක සේවය කරමින් සිට ඇත. කටුගස්තොට පොලිිසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







