ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා අවසන් වීමෙන් අනතුරුව දෙරටේ නියෝජිතයින් අතර සාකච්ඡාව අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ආරාධනයට අනුව මෙවර අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරය සිදු කෙරේ.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
ඉන්දියානු රජය වෙනුවෙන් ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, විදේශ ලේකම් වික්‍රම් මිස්රි සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරු ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.







