තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිවයිනට සම්ප්‍රාප්ත වූයේය. ඒ කටුනායක අවට ඇද හැලෙන අනෝරා වැසි මැදය.
මෝදි දිවයිනට පැමිණෙන්නේ ඉන්දීය රජයට අයත් ඉන්දියා 01 දරන විශේෂ ගුවන් යානයෙනි. රාත්‍රී 8.33ට පමණ යානය කටුනායක ගුවන් තොටුපලට ගොඩබස්වනු ලැබුවේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ලංකාවට පැමිණෙන්නේ තායිලන්තයේ බැංකොක් නුවර පැවැති බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීමෙන් අනතුරුවය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මෙරට සංචාරයේ නිරත ඉන්දීය දූත පිරිසේ සංඛ්‍යාව 60 කි. ඒ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ද වේ. ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, විදේශ ලේකම් වික්‍රම් මිස්රි ද දූත පිරිස අතර වෙති.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා කටුනායක ගුවන් තොටුපොළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය පැමිණියේය. වර්ෂාව හේතුවෙන් මෝදි අගමැතිවරයා පිළිගැනීම සිදුවන්නේ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත විසින් ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි ඇතුළු රාජතාන්ත්‍රික නියෝජිත පිරිස මහත් හරසරින් පිළිගන්නා ලදී.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් මෙවර අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරය සිදු කෙරේ.
ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයක නිරත වන සිව් වන අවස්ථාව මෙය වන අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, සංස්කෘතික හා ඓතිහාසික සබඳතා තවදුරටත් තර කර ගැනීමත් දෙරට අතර බහුවිධ හවුල්කාරිත්වය ශක්තිමත් කර ගැනීමත් මෙම රාජ්‍ය සංචාරයේ අරමුණු වේ.
මෙම සංචාරය අතරතුර ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂිතය.
එසේම, මෙරට රැඳී සිටින කාලය තුළ ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමටද නියමිත අතර ඉන්දියානු රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමටද නියමිතය.







