ශ්‍රියානි විජේසිංහ –
අනුරාධපුර ආලංකුලම ප්‍රදේශයේ අක්කර ගණනාවක වගුරු බිම් සහිත කුඹුරු සහ හග්ගමුව කැළේ යට කරමින් ඉදිකෙරෙන මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරිම් වහාම නතර කර පරික්ෂණ පවත්වන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් කමිටුවේදී එහි සභාපති වසන්ත සමරසිංහ සඳහන් කර තිබියදී ඊට පසු දින සිටම එම ගොඩනැගිල්ලේ හිමිකරු සේවකයින් සියගණනක් යොදවා ඉදිකිරිම් දිගටම කරගෙන ගොස් තිබීම බරපතල ප්රශ්නකාරී තත්ත්වයක් ඇති කර තිබේ.
ඉහළ රාජ්‍ය නිලධාරින්ට මෙන්ම තුනෙන් දෙකක ජනතා බලයක් සහිතව රට කරවන දේශපාලන අධිකාරියේ නියෝගවලට කිසිම ප්‍රතිචාරයක් නොදක්වා ස්වකීය අභිමතය පරිදි වැඩ කටයුතු කරගෙන යෑමේ බලය රැඳී ඇත්තේ කොතැනදැයි මේ වනවිට සමාජයෙන් ප්‍රශ්න කිරීම් මතු වී ඇත.
මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම තහනම් කළේ මේ ආණ්ඩුවෙන් පමණක් නොවේ. පසුගිය රජය සමයේ දී ද මේ ඉදිකිරීම තහනම් කර තිබිණි. එහෙත් පසුගිය ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවා අවසන් කළ තිබෙන කාලයේදී එවකට ගොවිජන සේවා අධ්යක්ෂ ජනරාල්වරයා හොර රහසේ එම තහනම ඉවත් කර තිබුණු අනීතික ආකාරය සම්බන්ධව මේ වනවිට හෙළි දරවු වී තිබේ. එම අවසරය ලබා දී ඇත්තේ ඔහු විශ්‍රාම යෑමට දින කීපයකට පෙර බව ද වාර්තා වේ.
ඉකුත් දෙසැම්බර් 12 වෙනි දා පැවති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී එහි සභාපති වසන්ත සමරසිංහ මේ පිලිබඳව කරුණු විමසීමේදී අනාවරණය වී ඇත්තේ මේ දුෂ්ඨ ගනුදෙනුව පසුපස ඇත්තේ රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් බවය. පසුගිය ආණ්ඩු සමයේ එම නිලධාරීන් කිසිදු ක්ෂේත්‍ර ගවේෂණයක් හෝ නොකර ලිපිලේඛණ මගින් පමණක් මේ සඳහා අවසර ලබා දී ඇති ආකාරය අනාවරණය වූයේය. අනතුරුව මෙම ඉදිකිරීම් කරන පුද්ගලයා මේ ඉදිකිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරය ලැබූ බවට විශාල දැන්වීම් පල කර තිබිණි. ඒ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිසි අවසරයක් මේ ඉදිකිරීම සඳහා ලබා නොගෙනය. ඔහු ප්‍රාදේශීය ලේකම්වරයාගේ නම අවභාවිතා කර අනීතික ව්‍යාපෘතියට නෛතික ආවරණයක් ලබා ගැනීමට උත්සාහ කර තිබිණි. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී ප්‍රාදේශීය ලේකම්වරයා පවසා තිබුණේ තමන් මේ ක්‍රියාවට විරෝධය පල කළ බැවින් එම දැන්වීම් පුවරු ඉවත් කරගෙන තිබුණු බවය.
හොඳම කාරණාව වන්නේ පහළ නිලධාරීන් කණ්ඩායමක් මේ ඉදිකිරීම් අනුමැතිය ලබා දී ඇත්තේ අනුරාධපුර මහ දිසාපතිවරයාගේ විරෝධය ද නොතකා වීමය. මේ හෙළිදරව්වත් සමගම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ මේ හෙළිවන කරුණු අනුව පැහැදිලි වන්නේ මේ ව්‍යාපෘතිය පසුපස පගාව ගැනීම, ඇතුළු සියලු ආකාරයේ දූෂණ ගොන්නක් සැඟව ඇති බවය.
එම අවස්ථාවේ දී සභාපතිවරයා නිලධාරීන්ට දන්වා සිටියේ මේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නවතා මෙහි මුල සිට කරුණු අධ්‍යනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය. එහෙත් වසන්ත සමරසිංහ ඇමතිවරයාගේ නියෝගය පයිසයකට මායිම් වී තිබුණේ නැත. නියෝගය කළ දිනට පසු දින සිටම ගොඩනැගිල්ල යළි ඉදිකිරීම් ආම්භ විය. දිවා රෑ නොතකා ඉදිකිරීම් පැවතියේය. ඒ සඳහා යන්ත්‍රෝපකරණ විශාල ප්‍රමාණයක් ද යොදවා ගොඩනැගිල්ලේ තුන්වැනි මහලත් ඉදිකිරීම ඇරඹී තිබිණි.
දැන් අප විමසිය යුත්තේ මේ රටේ නීතියට වලංගු නැති පුංචි රාජ්‍යයක් අලංකුලම වැව ඉස්මත්තේ තිබේද යන්නය. මේ බලය කාගෙද?. මේ පසුපස ඉන්නා පුද්ගලයින් කවුද?. රටේ නීතියට, රජයට, උසස් නිලතලවලට අභියෝග කරන මේ “නිර්භීත” පුද්ගලයින් දැනගැනීමට අපි මහත් උනන්දුවෙන් පසුවෙමු.







