සියවස් ගණනාවක් තිස්සේ ආගමික සංස්කෘතික බැඳීමක් සහිතව ජීවත් වූ බෞද්ධ ජනතාවක් සහිත මියන්මාරයේ ඇති වූ ස්වභාවික විපත අවස්ථාවේ දී ශ්‍රී ලංකාව ලෙස එම ජනතාවට උපකාර කිරීමට එක් වීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.
ඊයේ රැස් වී කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ මියන්මාරයේ ජනතාව වෙනුවෙන් ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියනයක මූල්‍යාධාර සැපයීමට සහ අවශ්‍ය මානව සම්පත සහ ද්‍රව්‍යමය ආධාර ලබා දීමටය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පැවසුවේ දැනටමත් සංඝයාවහන්සේ ගේ මගපෙන්වීම යටතේ පන්සල් ආශ්‍රිතව ද්‍රව්‍යමය ආධාර එකතුකරමින් පවතින බවය.
රාමඤ්ඤ මහා නිකායේ නාරාහේන්පිට සංඝ මූළස්ථානය, ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ වැල්ලවත්ත මූලස්ථානය, බෞද්ධ මහා සම්මලේනයේ විපස්සනා භාවනා මධ්‍යස්ථානය, ගම්පහ මැදගම සුනන්දාරාම විහාරය, කැලණිය නාගනන්ද විශ්වවිද්‍යලය, ඇතුළු විහාරස්ථාන 45ක ලයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබේ. සියලුම ප්‍රාදේශී ශාසනාරක්ෂක බල මණ්ඩල හරහා ද මෙම ආධාර එකතු කරමින් පවතී. මෙම ජනතාව මගින් එකතු කරන ආධාර මියන්මාරයේ ජනතාව වෙත ලබා දීමට රජය මැදිහත් වීමක් කර අවශ්‍ය පියවර ගැනීමට තීන්දු කර ඇති බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
එමෙන්ම මේ ආපදා අවස්ථාවේ දී වෛද්‍යවරුන් ඇතුළු තවත් විශාල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයකින් සමන්විත සහන සේවා කණ්ඩායමක් අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී මියන්මාරය වෙත යැවීමට සූදානම් කර ඇති බවද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
ශ්‍රී ලංකා රජය මියන්මාර් තානාපති කාර්යාලය සමග කළ සාකච්ඡවේ දී ඔවුන් ඉල්ලා ඇත්තේ එම අවස්ථාවට මැදිහත්විය හැකි සෞඛ්‍ය වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සූදානම් කර තබන ලෙසය. දැනට ශ්‍රි ලංකා ත්‍රිවිධ හමුදාවේ සේවය කරනු ලබන විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ හෙද නිලධාරීන්ට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවය කරනු ලබන විකලාංග විශේෂඥ වෛද්‍යවරුන් සහ හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් මේ වනවිට සූදානම් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
මියන්මාර තානාපති කාර්යාලය දැනුම් දෙන ඕනෑම අවස්ථාවක එම සහන සැලසීම සඳහා එම වෛද්‍ය කණඩායම් සූදානමින් සිටින බව ද ඔහු කීවේය.
ඊට අමතරව මේ වනවිටත් මියන්මාර ජනතාවට අවශ්‍ය ඖෂධ එන්නත් සහ ශල්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් එකතු කරමින් පවතින බවත් එම ඖෂධ සහ උපකරණ ඉතාම ඉක්මනින් මියන්මාර ජනතාව වෙත ලබා දීමට සූදානම් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දුනනේය.
2025 මාර්තු 28 සිදුවූ ප්‍රබල භූ කම්පනයේ හේතුවෙන් මියන්මාරයේ ජනාතාව 2700ක් අතුරුදහන්ව සිටිති. දහස් ගණනක් අනතුරට පත්ව රෝහල්ගත වී ප්‍රතිකාර ලබමින් ඇත.







