අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය දැක්වූ 27 දෙනෙකු මරදාන පොලීසිය විසින් අද (28) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට ඊයේ (27) දහවල් විරෝධතාවක් ආරම්භ කළේය.
විරෝධතාවය අතර ශිෂ්‍ය නියෝජිතයින් 8 දෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සමග සාකච්ඡාවක් හිමිවූයේය. එම සාකච්ඡාව අසාර්ථක බව කියමින් ඔවුහු තවදුරටත් එම ස්ථානයේ රැඳි සිටිමින් විරෝධය දැක්වූහ.
මේ අතර උද්ඝෝෂණය සහ පාගමන සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට තොරතුරු වාර්තා කළේය ඒ අනුව විරෝධතාකරුවන්ට මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළුවීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධාවන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදීය හා ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය, පදිකවේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ, පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් අධිකරණ ආඥාවක් නිකුත් විය.
එම අධිකරණ නියෝගය ප්‍රකාශ වී තිබිය දී එම නියෝගයට අනුකූල නොවි නියෝගය කඩ කල 27 දෙනෙක් මෙලෙස අත් අඩංගුවට ගෙන තිබිණි.







