ක්‍රිකට් ආයතනයේ දූෂණ හොරකම් සහ වංචා පිළිබඳව රටට හෙළි කර වීරයෙක් වූ වත්මන් රජයේ ඇමති සුනිල් හඳුන්නෙත්ති ක්‍රිකට් ආයතනයේ දූෂකයින් විසින් අල්ලාගෙන ඇතැයි ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
සෑම රජයක් සඳහාම පොරොන්දු දෙමින් එම රජයන්හි දේශපාලකයින් තමන් නතු කරගන්නා ක්‍රිකට් ආයතනයේ දූෂිත නිලධාරීන් විසින් සුනිල් හඳුන්නෙත්තිව ග්‍රහණයට ගෙන ඇත්තේ මාතර පොල් හේනේ කාන්තා ක්‍රිකට් පාසලක් සහ ක්‍රීඩාංගනයක් ඉදි කිරීමට ක්‍රිකට් ආයතනය විසින් ලබා දුන් පොරොන්දුවකට හසු වෙමින් බව එම ආරංචි මාර්ග කියයි.
මීට වසර ගණනාවකට පෙර මේ ආකාරයටම ක්‍රිකට් සරසවියක් ඉදි කරන බව කියමින් කුන්ඩසාලේ පන්සල් ඉඩමක් මිලියන 20 කට මිළදී ගත්තත් අද වනතුරු එහි කිසිදු ඉදිරියක් නැති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි. එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස සිටියදී පොළොන්නරුවේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කර දෙන බවට ඔහුව ඇන්දවූයේ ද මේ ක්‍රිකට් බලධාරීන්ය.
සූරියවැව ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය තිබෙද්දී, මාතර උයන්වත්ත ක්‍රීඩාංගනය පහසුවෙන් ක්‍රිකට් ඇකඩමියක් ලෙස සංවර්ධනය කළ හැකිව තිබෙද්දී පොල්හේනේ ක්‍රිකට් කෙළිය නුදුරේදීම විහිලුවක් වන ආකාරය බලා ගත හැකි බව මාතර ක්‍රිකට් ප්රවීනයෝ මින් පෙර කැට දමා කියා තිබුණහ.
කෝප් කමිටුවේ සභාපති ලෙස තමන් විසින්ම රටට හෙළි දරවු කළ, හොරුන් බව සහතිකකොට රටට කී ක්‍රිකට් ආයතනයේ දූෂිතයන් යැයි කී පිරිස නොවෙනස්ව සිටිද්දී ඔවුන් සමග එක්ව හඳුන්නෙත්ති කරන මේ ක්‍රිකට් ඩීල් එක සම්බන්ධව බරපතල විවේචනයක් මතුවී ඇත්තේ ක්‍රිකට් ආයතනයේ මෙම මුදල් වෙන් කිරීම සම්බන්ධව ක්‍රීඩා ඇමතිවරයා හෝ නොදැන සිටීම නිසා බව වාර්තා වේ.
මේ සියලු දේ සිදුවන්නේ මේ වසරේ ජාත්‍යාන්තර ක්‍රිකට් තරග හිඟය හේතුවෙන් ජාතික ක්‍රිකට් ලීගයේ තරග පවා වියදම් සීමා කරමින් පැවැත්වීමට කටයුතු කර ඇති පසුබිමක වීම ද සැලකිය යුතු අවධානයකට ලක් වී තිබේ.
මේ සියලු කටයුතු පෙළ ගැසෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මාර්තු මස 31 පැවැත්වීමට නියමිත පසුබිමක වීම අවධාරණය වේ.







