ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි සිය තනතුරින් ඉල්ලා අස්වී ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
සභාපතිවරයා තමන්ගේ ඉල්ලා අස්වීම පිළිබඳ දන්වමින් ජනාධිපතිවරයා වෙත සිය ලිපිය යොමු කර ඇත්තේ පසුගිය මාර්තු 4 වන බදාදාය. ඉල්ලා අස්වීමට හේතුව පැහැදිලි නැති බව ද සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ 12(1) වගන්තිය යටතේ, එම කොමිසම කොමසාරිස්වරුන් හතර දෙනෙකුගෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කරන ලද සභාපතිවරයෙකුගෙන් සමන්විත විය යුතුය. කවුන්සිලය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නාමිකයෙකු ලෙස එක් කොමසාරිස්වරයෙකු සහ ‘ප්රකාශකයින්ගේ, කර්තෘවරුන්ගේ සහ මාධ්‍ය පුද්ගලයින්ගේ සංවිධාන’ සහ ‘සිවිල් සමාජ සංවිධාන’ සඳහා පිළිවෙලින් නාමිකයින් ලෙස කොමසාරිස්වරුන් දෙදෙනෙකු නිර්දේශ කළ යුතුය. ජනාධිපතිවරයා විසින් කරනු ලබන ඉතිරි පත්වීම් දෙක කවුන්සිලයේ සාමාන්‍ය නිර්දේශය මත වේ.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිසමේ රැස්වීම් සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද සභාපතිවරයා ඇතුළුව සාමජිකයින් තුන් දෙනෙකුගෙන් යුතු ගණපූර්ණයක් තිබිය යුතුය. . කොමසාරිස්වරුන්ට වසර පහක කාලයක් සඳහා ස්ථිර ධුර කාලයක් ඇත. ඉල්ලා අස්වීමකට හෝ නිශ්චිත හේතු මත කවුන්සිලයේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීමට හෝ එම සාමාජිකයින් යටත් වේ.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක වගඋත්තරකරුවෙක් බවත් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කළ ඔහු වගඋත්තරකරුවකු කරමින් නඩු කිහිපයක් මේ වන විට ගොනුවී ඇති බවත් අනාවරණය වී තිබිණි. ඊට අමතරව ඔහු අධිකරණයට අපහාස කළ බව කියමින් ඔහුට එරෙහිව කටයුතු කරන්නැයි අතුරුදන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ අගතියට පත් පාර්ශ්වයේ නීතිඥ උපුල් කුමරප්පෙරුම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් ඉල්ලීමක් ද කර තිබිණි. ස්වාධීන කොමිෂන් සභා දෙකක එක්වර සභාපතිත්වය දැරීම, අධිකරණය බලය අවභාවිතය පිළිබඳ නිරන්තර චෝදනාවට ලක් වූ පුද්ගලයෙක් ලෙස ඔහුගේ මෙම පත්වීම ආන්දෝලනයකට ලක් වී තිබිනි.







