අවුරුදු 150ක වෛද්‍ය වෘත්තීය ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීම සිද්ධ වූ පසු තවත් දීමනා ඉල්ලා වැඩ වර්ජනයක් ප්‍රකාශ නොකරන ලෙසත්, ජනතාව වෙනුවෙන් මෙම ක්‍රියාවලියෙන් ඉවත් වී ලබා දුන් වැටුප් වැඩිවීම පිළිගන්න ලෙසත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේය. ඔහු මෙම ඉල්ලිම කළේ සියලුම ශ්‍රේණිවල රජයේ වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩිවන ආකාරයද එකින් එකට විස්තර කරමිනි.
තමන් සියලුම වෛද්‍ය ශ්‍රේණීන්ගේ වැටුප් වර්ධනය වන ආකාරය පැහැදිලි කළේ ඇතැම් කණ්ඩායම් මේ ඉලක්කම් වෙනස් කරමින් වෛද්‍යවරුන් අතරම වැරදි චිත්‍රයක් මවමින් සිටින නිසා බව ඔහු පෙන්වා දුන්නේය.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයා වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව කළ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.
“6 වැනිදා තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂය. මම දැක්කා ඊයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා ප්‍රකාශ කරනවා හදිස්සියේ වැඩවර්ජනයක් කරනවා කියලා දීප ව්‍යාප්තව.”
“ඊලඟට 7 වැනිදා අඛන්ඩ වැඩවර්ජනයක් දියත් කරනවා කියලා කිව්වා දීප ව්‍යාප්තව.”
“6 වැනිදා දිනය කලින්ම වෙන් කරගෙන තිබ්බා සමන් රත්නප්‍රිය. ඒ කියන්නේ ජනාධිපති තුමා අය වැය කතාව කියවලා දවස් දෙකකින්ම එයා 6 උද්ඝෝෂණයක් කරනවා කියලා තිබුණා. මෙහෙම තමයි සමහර කණ්ඩායම් ඉදිරිපත් වෙලා තියෙන්නේ.”
“මම දැක්කා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කීප දෙනෙක් විපක්ෂ නායකවරයා සහ විපක්ෂ මන්ත්‍රීවරුන් හම්බවෙලා තියනවා. බෙදුම්කරුවන්ගේ පැත්ත ගත්තා වගේම විපක්ෂ නායකවරයා වෛද්‍යවරුන්ට බරපතල අසාධාරණයක් වෙලා කියලා කිව්වා.”
“මට අහන්න තියෙන්නේ අපි ඉතිහාසයේ පෙර නොවූ විරූ කවුරුවත් බලාපොරොත්තු නොවුන ආකාරයේ වැටුප් වැඩිවීමක් රජයේ සේවකයින්ට ලබා දීලා තියනවා. මම ඔබට ඕන නම් ආයෙම කියන්නම් වෛද්‍යවරු සඳහා ඉදිරිපත් කරලා තියන මූලික වැටුප් වැඩිවීම ”
මූලික වැටුප් වැඩිවීම
ආරම්භක අවස්ථාවේ වෛද්‍යවරයෙකුට රුපියල් 54390ක් ලැබෙන කෙනාට අපි මූලික වැටුප වැඩි කරනවා රුපියල් 94250 දක්වා.
එම ග්‍රේඩ් එකේ කොටස් තුනක් තියනවා. ඉන් රුපියල් 56960ක මූලික වැටුපක් ලබන කෙනෙකුට රුපියල් 98950 දක්වා මූලික වැටුප වැඩි වෙනවා.
ග්‍රේඩ් II මෙඩික් ඔෆිසර් කෙනෙකුට දැන් තියන 58305ක මූලික වැටුප 101370 දක්වා වැඩි වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රේඩ් II මෙඩිකල් ඔෆිසර් කෙනෙක් යම් සේවා කාලයක් සපුරලා වැටුප් වර්ධක ආවට පස්සේ රුපියල් 63,385ක මූලික වැටුපක් දැන් ලබන කෙනෙකුගේ වැටුප් වැඩිවෙනවා රුපියල් 1,11,050 දක්වා.
ග්‍රේඩ් I වලට යන්න ඔන්න මෙන්න කියලා ඉන්න ග්‍රේඩ් II මෙඩිකල් ඔෆිසර් කෙනෙකුට දැන් ලබන මූලික වැටුප රුපියල් 69,635ක් ලබන කෙනාට ලැබෙනවා මූලික වැටුප 1,21,770ක්. රුපියල් 52135ක් එතන වැටුප් වැඩි වෙලා තියනවා
ග්‍රේඩ් I මෙඩිකල් ඔෆිසර් කෙනෙකුට දැන් තියෙන්නේ මූලික වැටුප රුපියල් 71205යි. ඔහුගේ මූලික වැටුප රුපියල් 1,25,670ක් දක්වා වැඩි වෙනවා. දැන් මූලික වැටුප 80485ක් ලැබෙන ග්‍රේඩ් I මෙඩිකල් ඔෆිසර් කෙනෙකුට රුපියල් 1,41,270ක් දක්වා මූලික වැටුප පමණක් වැඩි වෙනවා. දැන් රුපියල් 86995ක් මූලික වැටුප ලැබෙන කෙනාට 152970ක මූලික වැටුපක් හම්බවෙනවා. 93,505ක දැන් මූලික වැටුපක් ලැබෙන කෙනාට 1,64,670ක්. ග්‍රේඩ් I සීනියර්ම මෙඩිකල් ඔෆිසර් කෙනෙකුට දැන් ලෙබන්නේ රුපියල් 1,04 355යි. ඔහුගේ මුලික වැටුප රුපියල් 1, 84,170ක්.
ඒ කියන්නේ අවුරුදු 150ක ඉතිහාසයේම වැඩි කරලා තියෙන්නේ රුපියල් 54190යි. අපි මේකට එකතු කරනවා 39160ක්. රුපියල් 40,000ක් මුලික වැටුපට. මේවා කරන්නේ මේ තියන ආර්ථික තත්ත්වය තුළ. මේ මූලික වැටුප් වැඩිවීම මේ අප්‍රේල් මාසේ කොටසක්. මාස 20ක් තුළ මේ සමස්ථ මුදල ලැබෙනවා. 2027 ජනවාරිවල මේ අයට ලැබෙන මූලික වැටුපට අනුකූලව ඒ අයගේ පැයකට එක්ස්ට්‍රා ඩියුටි එක හැදෙනවා.
දීමනා වැඩි වෙන හැටි
ඒ අනුව එක්ස්ට්‍රා ඩියුටි එක මූලික ශ්‍රේණියේ දි පැයකට රුපියල් 687යි. ඒක රුපියල් 765 වෙනවා. ග්‍රෙඩ් II වල දැන් තියෙන්නේ පැයකට රුපියල් 796යි. ඒක රුපියල් 925 වෙනවා. දැන් ග්‍රේඩ් I වල 1101යි. ඒක 1307 වෙනවා. දැන් ජූනියර් කන්සල්ටන්ට් කෙනෙකුට 1397ක පැයක වේතන වටිනාකම 1542 වෙනවා.
පැය 06ක් වැඩ කළාට පස්සේ නිවාඩු දවසක පී.එච්. එලවන්ස් එක දැන් තියෙන්නේ රුපියල් 2714යි. එය රුපියල් 3138 වෙනවා. ග්‍රේඩ් II මෙඩිකල් ඔෆිසර් කෙනෙකුට දැන් තියන පී.එච් එක 2915යි. ඒක රුපියල් 3379 වෙනවා. ග්‍රෙඩ් I මෙඩිකල් ඔෆිස්ර් කෙනෙකුට පී.එච් එක රුපියල් 3390යි. ඒක 4189 වෙනවා. ජූනියර් කන්සල්ටන්ට් කෙනෙකුට රුපියල් 4400ක පී.එච් එක රුපියල් 5200 දක්වා රුපියල් 800කින් වැඩි වෙනවා.
එතකොට මූලික වැටුප් වැඩි වෙනවා. එක්ස්ට්‍රා ඩියුටි එක වැඩි වෙනවා. පී.එච් එක වැඩි වෙනවා. ඊට අමතරව මේ හැමෝගෙම වාර්ෂික වැටුප් වර්ධක සියයට 80කින් වැඩි වෙනවා.
වාර්ෂික වැටුප් වර්ධක සහ පේඊ ටැක්ස් එක
උදාහරණයක් හැටියට කිව්වොත් රුපියල් 1335ක වාර්ෂික වැටුප් වර්ධකයක් ගත්ත මූලික ශ්‍රේණියේ වෛද්‍යවරයෙකුට රුපියල් 2400 දක්වා වැටුප් වර්ධකය වැඩි වෙනවා. ඒ කැටකරි එකේ වැටුප් වර්ධක 03ක් තියනවා. 1630ක වැටුප් වර්ධකයක් ගත්ත කෙනෙකුට රුපියල් 2940 දක්වා වැඩි වෙනව. රුපියල් 2170ක වැටුප් වර්ධයක් ගත්ත කෙනෙකුට රුපියල් 3900 දක්වා වැඩි වෙනවා.
ඊලඟට අපි පේඊ ටැක්ස් එකෙන් සහනයක් දීලා තියනවා. රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ එක හමාර දක්වා පේඊ ටැක්ස් එක අයකරගන්නේ නෑ. සියයට සීයක සහනයක් ඒක.
රුපියල් ලක්ෂ එක හමාර එක් ලක්ෂ හැත්තෑපන් දහස දක්වා වැටුප් ගන්නා අයට සියයට 72ක සහනයක් තියනවා. ලක්ෂ 2 දෙක හමාර අතර වැටුප් ගන්නා අයට සියයට හැට දෙකක සහනයක් තියනවා. රුපියල් ලක්ෂ දෙක හමාර ලක්ෂ තුන අතර ගන්නා අයට සියයට 47ක සහනයක් තියනවා.
දල වැටුප වැඩි වෙන හැටි
දළ වශයෙන් කිව්වොත් මූලික ශ්‍රේණියේ වෛද්‍යවරයෙක් දැන් රුපියල් දෙලක්ෂ හතලිස් දහසක “ග්ලොස් පේ” එකක් ගත්තොත් මේ අප්‍රේල් වෙනකොට එයාට රුපියල් දෙලක්ෂ පනස් නව දහසක් දක්වා වැඩි වෙනවා “ග්ලොස් පේ” එක. 2027 දී එයාගේ “ග්ලොස් පේ” එක දෙලක්ෂ අනූ තුන් දහස දක්වා වැඩි වෙනවා .
දැන් කවුරුහරි වෛද්‍යවරයෙක් එක්ට්‍රා ඩියුටි පී.එච් කරලා දෙලක්ෂ පනස් හත් දහස් අටසීයක් විතර “ග්ලොස් පේ” එකක් ගත්තොත් අප්රේල්වලදි වැඩි වෙනවා දෙලක්ෂ අසූ තුන් දහස් හයසිය හැට දක්වා. තුන් ලක්ෂ දස දහස් තුන්සිය හත දක්වා 2027 ජනවාරි වෙනකොට වැඩි වෙනවා. ග්‍රේඩ් I මෙඩිකල් ඔෆිසර් කෙනෙක් දැන් ග්ලොස් පේ එක ගත්තා නම් තුන් ලක්ෂ නව දහසක්, එයාට අප්‍රේල්වල හම්බවෙනවා තුන් ලක්ෂ හතලිස් අට දහස් හයසිය හැත්තෑවක්. 2027 ජනවාරි වෙනකොට මේක වැඩි වෙනවා රුපියල් තුන් ලක්ෂ අසූ දෙදදහස් අටසිය හැට හත දක්වා.
කන්සල්ටන්ට් කෙනෙක් දැන් ගලොස් පේ එක ගත්තා නම් තුන් ලක්ෂ පනස් දෙදාහක් එයාගේ වැටුප මේ අප්රේල්වලදි ලක්ෂ 4 දක්වා වැඩි වෙනවා. ජනවාරි 2027 වෙනකොට හාරලක්ෂ හතලිස් පන් දහස දක්වා වැඩි වෙනවා.
මම කියන්නේ අපි මේ මොහොතේ දෙන්න පුලුවන් මූලික වැටුප් වැඩි වීම, එක්ට්‍රා ඩියුටි එලවන්ස් එක, පී.එච්. එලවන්ස් එක ඒ වගේම වාර්ෂික වැටුප් වර්ධකය සහ බදු සහන සියල්ල ලබා දීලා තියනවා. රටට ආර්ථිකයට දරා ගන්න පුලුවන් හැටියට තමයි ඒවා ලබා දෙන්නේ.
ආණ්ඩුවට මාස තුනයි. කවුරුත් වෘත්තීය සමිති අරගල කරලා නෙමෙයි මේ වැටුප් වැඩිවීම ලබා ගත්තේ. අපි ආණ්ඩුව හැටියට තීන්දු කරලා මේක ලබා දුන්නේ. මේක තමයි මේ මොහොතේ රජයට දරා ගන්න පුලුවන් පිරිවැය. මේ වැටුප් වැඩිවීම් ගෙවන්නේ ජනතාවගේ බදු සල්ලිවලින්.
තවත් ප්‍රශ්න තියනවා නම් ඒවත් සාකච්ඡා කරමු
මේ ගැන කාටවත් ප්‍රශ්නයක් තියනවා නම් අපි සාකච්ඡාවට සූදානම්. මම සාකච්ඡා කළා. ජනාධිපතිතුමා සාකච්ඡා කළා. සාකච්ඡාවට සූදානම්. හැබැයි මම හිතනවා මේ වෙලාවේදි මේ වැටුප් වැඩිවීම පිළිගන්න. ජනතාව අපහසුතාවයට පත් කරන්න එපා. රට යන්තම් හුස්ම ගනිමින් ඉන්නේ. රෝගීන් බහුතරයක් රජයේ රෝහල් පිළිගනිමින් රෝහල්වලට විශ්වාසයෙන් එමින් පවතිනවා. ඒ වෙලාවෙදි අනවශ්‍ය විදිහට වැඩ වර්ජන කරලා රෝගීන් අපහසුතාවයට පත් කරලා පීඩාවට පත් කරන්න එපා කියලා මේ සියලු දෙනාගෙන් ඉල්ලන්න කැමතියි.
මේ වැටුප් ප්‍රමාණයන් කිව්වේ සමහර තැන්වල මේ ඉලක්කම් එහෙ මෙහෙ කරලා වෛද්‍යවරුන් අතර යම් අනවබෝධයක් හදන්න යම් කණ්ඩායමක් උත්සාහ කරමින් ඉන්නවා. මතක තියාගන්න. 2023 පෙබරවාරිවල මේ වෛද්‍යවරු සමහර අය ගිහින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එක්ක සාකච්ඡා කළාම ඔහුගේ පිළිතුර වුනේ IMF එකත් එක්ක සාකච්ඡා කරනකම් වැටුප් වැඩිවීම් දෙන්න බෑ කියලා. එහෙම කරපු රටක තමයි අපි මේ තරම් වැටුප් වැඩිවීමක් ලබා දෙන්නේ.
ඒ නිසා කරුණාකරලා මේක පිළිගන්න කියලා මම සියලුම වෛද්‍යවරුන්ට කියනවා. අපි එකතු වෙලා ආර්ථිකය වර්ධනය කරමු. ආර්ථිකය තව ප්‍රසාරණය වෙන්න වෙන්න ඔබට මේවා තව ලබා දෙන්න පුලුවන්.







