මිනුවන්ගොඩ, පත්තඩුවන මංසන්ධියේ දී අද (26) උදෑසන 11ට පමණ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල සහිතව ගම්පහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසයි.
යතුරුපැදියකින් පැමිණි ඝාතකයින්ගේ ඉල්කකය වී ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ ගේ සමීප සගයෙක් වූ පත්අඬුවන පදිංචි කොටගම මුදියන්සේලාගේ ලහිරු සංදීව් කාංචන නැමැති 38 හැවිරිදි පුද්ලයෙකි. මෙම පුද්ගලයා පත්අඬුවන හන්දියේ ත්‍රී විල් රථයක් කුලී කරමින් සිටින්නෙක් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
ඔහු ත්‍රීවිල් රථය තුළ සිටිය දී යතුරු පැදියකින් පැමිණි ඝාතකයින් දෙදෙනාගෙන් පසුපස සිටි තැනැත්තා අදාල පුද්ගලයා ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇත. මෙම වෙඩි තැබීම මිලි මීටර 9 වර්ගයේ ගිනි අවියකින් සිදුකර ඇති බවට විමර්ශන අංශ සැක කරයි. ඉලක්ක වූ පුද්ගලයාගේ පාදයට අතට සහ කණ ප්‍රදේශයට වෙිඩි පහර වැදී ඇති අතර මාරාන්තික තුවාල සිදුවී නැති බව වාර්තා වේ.
කුලී ඝාතකයින් වෙඩි තැබීම සිදුකර මිනුවන්ගොඩ නගරය දෙසට පලාගොස් තිබේ. තුවාලකරු මුලින්ම මිනුවන්ගොඩ දිසා රෝහලටත් එතැනින් ගම්පහ දිස්ත්‍රික් රෝහලටත් මාරු කර යවා ඇත.
කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙක් වූ අදාල පුද්ගලයාට අපරාධ චෝදනා ඇති බවත් අපරාධමය වරද සඳහා ඔහු බන්ධනාගාරවී ඇති බවත් මිනුවන්ගොඩ පොලිසිය පවසයි. මිනුවන්ගොඩ පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.







