මේ වනවිට පාතාල කල්ලි අතර ඇති වී ඇති ගැටුම් මෙහෙයවමින් ඒ පසුපස වෙනත් බාහිර කණ්ඩායමක් සිටින බවටත්, ඔවුන්ට ආරක්ෂක අංශවල ඇතැම් පුද්ගලයින් රහසිගතව සහයෝගය ලබා දෙන බවටත් බුද්ධි අංශ විසින් අනාවරණය කර ඇතැයි ජනාධිපතිවරයා විසින් මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් වෙත දන්වා ඇතැයි උභය පාර්ශවයේ මහා විහාර ආරංචි මාර්ග හෙළි කරයි.
ජනාධිපතිවරයා මේ සම්බන්ධව මහා නායක හිමිවරුන් වෙත දන්වා ඇත්තේ ඔහු අද මහනුවරට පැමිණ උන්වහන්සේලා බැහැ දැකගත් අවස්ථාවේ දීය. මේ තත්ත්වය හඳුනාගෙන මර්ධනය කිරීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරන බවට ද ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් වෙත සහතික වී ඇත.
එහිදී මහානායක හිමිවරුන් ප්‍රකාශ කර ඇත්තේ මේ රජය ජනතාව විසින් පත් කරගනු ලැබුවේ අති මහත් බලාපොරොත්තුවකින් බවත්, එම ජනතා අභිලාෂයන් ඉටු කිරීමේ පරම වගකීම රජය සතු බවත්ය.
පවතින නීති රාමුව තුළ මෙම අපරාධ කල්ලි මර්ධනය කිරීම රජයක නියත වගකීමක් බවද මහා නායක හිමිවරු ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.
කෙසේ වෙතත් මහා නායක හිමිවරුන් බැහැදැක පැමිණි ජනාධිපතිවරයා මාධ්‍ය අමතා ප්‍රකාශ කළේ මේ සිදුවීම් හරහා ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් ඇති වී නොමැති බවය.
“ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිදු තර්ජනයක් නැහැ. පාතාල කණ්ඩායම් එකිනෙකා අතර ගැටුම් නිර්මාණයවෙලා තියෙනවා. එය මහජනයාගේ පොදු ආරක්ෂාවට තර්ජනයක් වී නැහැ. ”
“නමුත් මෙම පාතල කණ්ඩායම් දීර්ඝ කාලයක සිට වර්ධනය වුණු විවිධ ක්ෂේත්‍රවලට, ආයතනවලට පැතිරිලා තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ සබඳතාවයන් විනාශකාරී ජාලයක් බවට වර්ධනය වෙලා තියෙනවා. අපි දැඩි උත්සාහයක් ගන්නවා එය මැඩපවත්වන්න.”
“අපිට ලොකු විශ්වාසයක් තියෙනවා අපිට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. මේවා වර්ධනය වුණේ දේශපාලන රැකවරණය යටතේ. දැන් දේශපාලන රැකවරණය නැහැ. ”
“අනෙක් පැත්තෙන් අපිට සමහර තොරතුරු ලැබෙමින් තිබෙනවා අපි ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරලා තිබෙනවා. මේවා හුදු පාතාල කල්ලි තව කල්ලියක් එක්ක ගැටුමක් ද, මේ පිටුපස කවරහෝ හස්තයක් විසින් මේ සියල්ල ඒකාබද්ධ කර මෙහෙය වනදවාද කියන සැකය ගොඩ නැගෙමින් තිබෙනවා. ඒ පිළිබඳ පරීක්ෂණ අපි ආරම්භ කරලා තිබෙන්නේ.”







