මනම්පිටිය නිමල් ජයරත්න –
පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ වැටලීම් කොතෙක් සිදුකළත් මත්ද්‍රව්‍ය භාවිතා කරන දෙවැනි පෙළ කණ්ඩායම් මිස මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ ඉහළ තලයේ එකම ජාවාරම්කරුවෙක් හෝ කෙදිනකවත් නීතියේ රැහැනට හසුනොවූ බව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් පැවසුවේය.
ඔහු පැවසුවේ මේ ජාවාරම්කරුවන් සම්බන්ධව තොරතුරු ඉදිරියේ දී තමන් හෝ ලබා දෙන බවත් විමර්ශන කර ඔවුන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු අංශ කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත්ය.
නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මහතා ම අදහස් පලකර සිටියේ පොළොන්නරුව දිස්ත්‍රීක් සම්බන්ධිකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් දිස්ත්‍රික්කයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අපරාධ සම්බන්ධ සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මෙසේද පවසා සිටියේය.
“පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් වඩාත් පීඩාවට පත්වෙලා ඉන්නෙ කාන්තාවන්. මත්ද්‍රව්‍ය වැටලීම් කොතෙක් සිදුකළත් ඒවායින් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරකරුවන් කවදවත් අත්අඩංගුවට පත්වෙන්නෙ නෑ. ඊට පහළ අය තමයි හැමදාම අත්අඩංගුවට පත්වෙන්නෙ. ඊට සම්බන්ධ තොරතුරු අපි ළඟ තියෙනවා. ඒවා ඉදිරියේදී දෙන්නම්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා.”
මෙහිදී කරුණු පැහැදිලි කළ පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා පැවසුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පසුගිය වසරේ සිට මේ වසරේ ගත වූ කාලය දක්වා පොලිස් වසම් දහතුනකින් ලබාගත් දත්ත අනුව මත්ද්‍රව්‍ය වැටලීම් හත්දාස්නමසිය හතලිස් නවයක් සිදුකර ඇති බව ය.
,මීට අමතරව ගෝඩා වැටලීම් 2869ක්ද, හෙරොයින් සම්බන්ධ වැටලීම් 474 ක්ද, රජයේ අරක්කු නීති විරෝධී ආකාරයෙන් අලෙවි කළ පුද්ගලයින් 19 ක් ද, ගංජා වැටලීම් 1675 ක් ද සිදුකර ඇති බව නිශාන් ද සිල්වා මෙහිදී අනාවරණය කළේය. තවද පසුගිය වසරේ සිට මේ වසරේ ගත වූ කාලය තුළ අයිස් වැටලීම් 489 ක් ද, හසීස් වැටලීම් 10 ක් ද සිදුකර ඇති බව හෙතෙම පැවසීය.







