දිනසේන රතුගමගේ –
” මගේ වසර 27 ක අධිකරණ ජීවිතය මහා ප්‍රහේලිකාවකින් අවසන් වූ සේවාවක් ”
සිය කැමැත්තෙන් විශ්‍රාම යමින් වවුනියාවේ මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චෙලියන් ප්‍රකාශ කළේය.
විශ්‍රාම යන මහාධිකරණ විනිසුරුවරයාට සමුදීම පිණිස වවුනියාව අධිකරණ සංකීර්ණයේදී සෙසු විනිසුරුවරු හා නීතිඥවරුද සේවක සේවිකාවෝ ද උත්සවයක් සංවිධානය කොට තිබුණහ.
ඉලන්චෙලියන් විනිසුරුවරයා ලබා දුන් නඩු තීන්දු ගණනාවක් හේතුවෙන් හා පිස්තෝලකරුවකු විසින් විනිසුරුවරයාට තැබූ වෙඩිල්ලක් වැදී ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයා මියයාමෙන් පසුව ඔහු හැසුරුණු විලාශය නිසා දකුණේ ජනතාව අතරද මේ විනිසුරුවරයා ගෞරවයට පාත්‍ර වූයේය.

ඔහු අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පත්වීමට අවශ්‍ය පමණටත් වඩා සුදූසුකම් තිබියදී වගකිව යුත්තන් ඒ ගැන සැලකිල්ලක් නොදැක්වීම ඔහු ස්වකැමැත්තෙන්ම විශ්‍රාම යාමට හේතුවක් වී තිබිණි.
උත්සවයේදී කතා කළ බොහෝ දෙනෙකු කියා සිටියේ ඉලන්චෙලියන් විනිසුරුවරයා මේ සමාජයට නීතිය සාධාරණය හා පරමාදර්ශය ඉටු කළත් ඔහුට වගකිවයුතු තැන් වලින් සාධාරණයක් ඉටු නොවූ බවය.
ඉලන්චෙලියන් විනිසුරුවරයා පිළිගැනීමට සෙසු පිරිස ක්‍රියා කළ අවස්ථාවේදීත් ඔහුගේ කතාවේදීත් ඔහුට සිහිවටන පිරිනැමූ අවස්ථාවේදීත් උත්සව සභාවෙන් පිටව මෝටර් රථයට ගොඩවන අවස්ථාවේදීත් ඉලන්චෙලියන් විනිසුරුවරයාගේ දෙනෙත් කදුළින් තෙත්ව ගොස් තිබුණි.
ඒ අතර සිටි බොහෝ දෙනෙකුටද විනිසුරුවරයාගේ සමුගැනී සන්තාපයක් උපදාව තිබිණි. ඔවුන් බොහෝ දෙනෙක් සිටියේ දෙනෙතින් වැගිරෙන කඳුළු අයාසයෙන් පිස දමමිනි.







