-
යාපනේ ජනාධිපති මන්දිරය ජනතාවට මුදා හරින්න සූදානම්… ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන්න….
-
ජනතාවගේ ඉඩම් අයිතිය ආරක්ෂා විය යුතුයි… උතුරේ ඉඩම් ගැටලුව පිලිබඳ සමාලෝචනයක් කරනවා…
-
ඒ අතරින් පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දෙමළ භාෂාව කතා කරන තරුණ තරුණයන් සඳහා වැඩි අවස්ථාවක් ලබා දෙනවා… ඊට ඉදිරිපත් වීමට ඔවුන් උනන්දු කරන්න… ජනපති උතුරේ ජනතාවට කියයි!
පරන්තන්, මාන්කුලම් සහ කන්කසන්තුරේ ප්‍රදේශවල නව කර්මාන්ත කලාප ඇති කිරීමට සැලසුම් කර ඇති බවත් එම කර්මාන්ත පුරයන්හි ආයෝජනය කිරිමට යුද සමයේ රට හැර ගිය ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව ප්‍රකාශ කළේ, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (31) පැවති යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.
එහිදී ජනාධිපතිවරයා උතුරේ ජනතාව ඉදිරියේ ඉතා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කර සිටියේය.
ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතු බවත් උතුරේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර කඩිනමින් ජනතාවට නැවත ඉඩම් ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසුවේය.
රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් හෝ ආරක්ෂක හේතූන් මත රටේ ඕනෑම ස්ථානයක ඉඩමක් රජයට පවරා ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ඉඩම් වෙනුවට ජනතාවට අනිවාර්යයෙන් වෙනත් ඉඩම් ලබා දිය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
යාපනය ජනාධිපති මන්දිරය යාපනයේ ජනතාවට වඩා වැදගත් ව්‍යාපෘතියක් සඳහා සම්පූර්ණයෙන් නිදහස් කිරීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් සුදුසු යෝජනා ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළේය.
යුද්ධය නිසා අවතැන් වූ පවුල් උතුරු පළාතේ තවමත් සිටින බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳව සොයා බලා කඩිනම් තීන්දු ගැනීමට ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය
.අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව විසින් රාජ්‍ය ආයතන පවත්වා ගෙන යාම සඳහා 30,000ක පමණ පුරප්පාඩු පවතින බව හඳුනා ගෙන ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා බඳවා ගැනීමේ පටිපාටියට අනුව එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවත් එහිදී උපාධිධාරීන්ට ද එම අවස්ථා හිමි වන බවත් සඳහන් කළේය.
ඒ අතරින් පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දෙමළ භාෂාව කතා කරන තරුණ තරුණයන් සඳහා වැඩි අවස්ථාවක් ලබා දෙන බවත් ඊට ඉදිරිපත් වීමට ඔවුන් උනන්දු කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
“උතුරු පළාතේ ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද වත්මන් රජය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික බස් ඒකාබද්ධ ධාවන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තියනවා. උතුරු පළාතේ දුම්රිය සේවාව ද සංඛ්‍යාත්මකව වැඩි කිරීමට අප අවධානය යොමු රකනවා.”
“උතුරු පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා පරන්තන්, මාන්කුලම් සහ කන්කසන්තුරේ ප්‍රදේශවල නව කර්මාන්ත කලාප තුනක් ඇති කිරීමට අවධානය යොමු වී තිබෙනවා.. ඒ සඳහා ආයෝජනය කිරීමට යුද්ධය හේතුවෙන් මෙරටින් පිටව ගිය ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරනවා…” ජනාධිපතිවරයා සඳහන් කළේය.
උතුරු පළාත විශේෂ කොට සලකමින් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට රජය අවධානය යොමු කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ලබන වසරේ ලක්ෂ 25ක පමණ සංචාරකයින් මෙරට සංචාරය කරනු ඇති බවට බලාපොරොත්තු වන බැවින් සංචාරකයින් ආකර්ෂණය කළ හැකි උතුරු පළාතේ නව සංචාරක ස්ථාන හඳුනා ගෙන ඒවා ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය.
උතුරු පළාතේ රාජ්‍ය සේවාවේ නව බඳවා ගැනීම් දේශපාලන අධිකාරියේ මැදිහත්වීමකින් තොරව පියවීමට කටයුතු කරන බවත්, රාජ්‍ය සේවාව උතුරේ තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
එසේම ධීවර ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා රාජතාන්ත්‍රික වශයෙන් උපරිමයෙන් මැදිහත්වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
තවද මෙරට පානීය නළ ජලය අවම වශයෙන් භාවිතා කරන පළාත වශයෙන් උතුරු පළාත හඳුනා ගෙන ඇති බවත් මේ වන විට ආරම්භ කර ඇති ජල ව්‍යාපෘති කඩිනම් කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා නව ජල ව්‍යාපෘති සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන කරන බවද පැවසීය.
උතුරේ ජනතාවගේ විශාල ගැටලු ප්‍රමාණයක් ඇති බව පිළිගන්නා බව පැවසූ ජනාධිපතිවරයා උතුරේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය , කෘෂි කර්මාන්තය ඇතුළු සමස්ත රාජ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව සඳහන් කළේය. ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට දේශපාලන අධිකාරියත් රාජ්‍ය යාන්ත්‍රණයත් සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉලංකුමාරන් කරුණානන්දන්, ආචාර්ය සරවනබවානන්දන් ෂන්මුගනාදන්, රජිවන් ජෙයචන්ද්‍රමූර්ති, ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන්, සමස්ත ලංකා ද්‍රවිඩ සන්ධානයේ (AITC) පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ද, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්, උතුරු පළාත් ප්‍රධාන ලේකම් එල්. ඉලංගෝවන්, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ උතුරු ප්‍රදේශය භාර ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පරන්තන්, මාන්කුලම් සහ කන්කසන්තුරේ ප්‍රදේශවල නව කර්මාන්ත කලාප ඇති කිරීමට සැලසුම් කර ඇති බවත් එම කර්මාන්ත පුරයන්හි ආයෝජනය කිරිමට යුද සමයේ රට හැර ගිය ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.






