මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායකත්, නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයටත්, ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේනත් පත් වී තිබේ.
මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහාවූ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130 (1) හි දක්වා ඇති විධිවිධාන ප්‍රකාරව කාරක සභාවට සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සිදු විය.
එහි දී ඵම කාරක සභාවේ සභාපති ලෙස , පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක ගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ යෝජනා කළ පසු අජිත් ගිහාන් විසින් ස්ථිර කරන ලදී. එහි දී වෙනත් කිසිදු නමක් යෝජනා නොවූ බැවින් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ගාමිණී රත්නායක තේරී පත් වූ බව ප්‍රකාශ කරන ලදී.
ක්‍රම සහ විධි සම්බන්ධ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අභිනව සභාපතිවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම පසුගිය 24 වනදා තේරී පත්විය. දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සදහා ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අභිනවයෙන් රැස්වූ අවස්ථාවේ දී ඔහුව මෙසේ තෝරා පත්කරගන්නා ලදී.
සභාපතිධුරය සඳහා නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුමගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන රුවන් මාපලගම සහ චම්පික හෙට්ටිආරච්චි විසින් පිළිවෙලින් යෝජනා කර ස්ථිර කරන ලදී.
ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව
ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ද පසුගිය 24 වැනිදා පළමු වරට පාර්ලිමේතුවේ දී රැස්විය. එහි දී අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස තෝරාපත්කර ගැනිණි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන (නීතිඥ) තුෂාරි ජයසිංහ සහ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වින්ගේ යෝජනා ස්ථිරත්වයෙනි.







