ඉතාම ක්‍රමානුකූල විමර්ශනවලින් පසු නිසි ලෙස නඩු පැවරීම් සිදුකරන බවත් නිවසට සිතාසිය පැමිණි පසු සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් වැනි තැන්වල සැඟවෙන්නට උත්සාහ නොකර අධිකරණයට ඉදිරිපත්වන ලෙස හොරු ඇල්ලුවාදැයි ආණ්ඩුවෙන් අසන හොරුන්ගෙන් ඉල්ලා සිටින බවත් අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඇමතිවරයා කීවේ තුනෙන් දෙකක ජනතා බලයක් තිබුණ ද ආණ්ඩුවේ සියලුම නියෝජිතයන් ද නීතියේ විධානය සහ ආධිපත්‍යයට යට බැවින් කිසිම නීති විරෝධී කටයුත්තක් සිදුකිරීමට ආණ්ඩුව කටයුතු නොකරන බැවින් නඩු පැවරීම සඳහා අවශ්‍ය විමර්ශනවලට යම් සාධාරණ කාලයක් ගන්නා බවත් එතෙක් කලබල නොවී සිටින ලෙසත් ඔහු විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.
ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.
“අපේ ප්‍රතිවාදීන් විසින් කතාවක් ගොඩනගන්න හදනවා මේ ආණ්ඩුව ආවා… අච්චර බලයක් තියනවා… මෙච්චර බලයක් තියනවා… මුකුත් කරන්නෙ නෑ කියලා. දැන් මේක තමයි ප්‍රතිවාදින් මවන්න හදන පින්තූරය.”
“මම ඉස්සරවෙලාම පැහැදිලි කරන්නට ඕන අපි සම්පූර්ණ ආණ්ඩුවක් පිහිටෙව්වෙ කවදාද?. නොවැම්බර් 18. 14 ඡන්දය තිබ්බා. 18 වැනිදා පිහිටෙව්වා. දැන් මේ ආණ්ඩුවට මාස 2යි. මාස දෙකක දී මේ රට විනාශ කරන්න දායක වෙච්චි, මේ රටේ මුදල් හොරකම් කරන්න වංචා කරන්න දායක වෙච්චි පුද්ගලයින් රට වට්ටන්න ගිය පුද්ගලයින් අපෙන් ප්‍රශ්න කරනව ඔය ගොල්ල මොකක් ද කළේ කියලා.”
“ඔව්… අපට කාලය අවශ්‍යයයි. අපට ඡන්දය දුන්න අය ඡන්දය දුන්නේ අවුරුදු 05ක් තුළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න මිසක් මාස දෙකෙන් සියල්ලම කරන්න කවුරුත් බලාපොරොත්තු වුනේ නෑ. ”
“රටට නීතියේ විධානය ආධිපත්‍ය අත්‍යාවශ්‍යයයි. ඒක නැතිව අපට හැකියාවක් නෑ කිසිම දෙයක් ක්ලීන් කරන්න. නීති තියෙන්නෙ වැරදි කරන අයට දඬුවම් කරන්න මිසක් හොඳ මිනිස්සුන්ට දඬුවම් කරන්න නෙමෙයි. දැන් අලුත් කතාවක් ගොඩනගමින් යනවා… මොකක්ද ?.. කෝ හොරු ඇල්ලුව ද?… අපිට තුනෙන් දෙකක් බලයයක් අපට තියනවා. ඒක ඇත්ත. තුනෙන් දෙකේ බලයක් තිබුණට අපි කලින් ආණ්ඩු වගේ නෙමෙයි. මම තමයි හොඳටම කළේ… මගේ කටේ වචනය තමයි වැදගත්… චක්‍රලේඛ මොකට ද?, එහෙම යන ඒකාධිපති ආණ්ඩුවක් නෙමෙයි මේක. මොකද බලය තියන අපිත් නීතියේ විධානය ආධිපත්‍යයට යට නිසා.”
“දැන් අපි විමර්ශන ආරම්භ කරලා තියනවා. ඒ විමර්ශනවල ප්‍රගතිය මට එළියට වාර්තා කරන්න බෑ. නමුත් යම් විමර්ශන ප්‍රමාණයක් අපි කඩිනම් කරලා තියනවා. පාස්කු ප්‍රහාරය ඉන් එකක්. අපි කිසි කෙනෙකුගෙන් දේශපාලනිකව පලි ගන්නේ නෑ. නමුත් රටේ නීතිය හැමටම පොදුයි කියලා පෙන්වන්නට ඕන. මේච්චර කාලයක් වාට්ටුවල හිටපු දුමින්ද සිල්වා දැන් ඉන්නේ සෙල් එකේ. බදු නොගෙවපු අර්ජුන් ඇලෝසියස්ලා හිරේ ඉන්නවා. බදු අය කරනවා. දැන් අර ඉස්සර වගේ බලය ධනය තියන කෙනාට එක් නීතියකුත්, බලය ධනය නැති කෙනාට තව නීතියකුත් කියන සංකල්පය අපි පැහැදිලිවම වෙනස් කරලා තියනවා. ”
“ඒ වගේම ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් මත්පැන් සමාගමේ නොගෙවූ බදු මුදල් අය කරගන්න කටයුතු කළෙත් අපි. මෑත ඉතිහාසයේ සුරාබදු ආදායම කෝටි විසි දාහක් වුනෙත් මේ අවුරුද්දේ. ඒ වගේම බිම් මට්ටමේ මත්ද්‍රව්‍ය මැඩලන්න හරි වැඩපිළිවෙළක්…. ඒ කියන්නේ කලින් තිබුණ යුක්තිය මෙහෙයුම වගේ නෙමෙයි දේශබන්දුගේ. උසාවියෙන් වැරදිකාරයෙක් වුන ඔහුව අයින් කරලා අලුත් පොලිස්පතිවරයෙක් පත් කරගන්නෙත් අපි. මේ මාස දෙකට කරපුවා. මෙතෙක් ගොඩබිමදි එකවර සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකුගේ විශාලම මුදල සොයා ගත්තේත් මේ ළදරු ආණ්ඩුවම තමයි. අපේ කාලය පොඩියි. හැබැයි අරමුණු පොඩි නෑ.
ඒ නිසා නීතියේ විධානය ආධිපත්‍ය රකින්න විමර්ශන කරනවා. ඒවා නිසි ලෙස විමර්ශනය නොකර නඩු පැවරුවොත් ඒ අය නිදහස් වෙලා යනවා. ඒ නිසා මේ කලබල කරන කට්ටියට අපි කියන්නේ මෙච්චරයි.
නීතියට අනුව ඔබලාට ගෙවල්වලට සිතාසියක් එයි. එතකොට එන්න. සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් හරි කොහේ හරි හැංගෙන්නේ නැතිව. එච්චරයි අපේ ඉල්ලීම තියෙන්නේ.







