විදේශ රැකියා ජාවාරමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ගේ සොහොයුරු තිසර නිරෝෂණ නානායක්කාර ජනවාරි මස 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය.
ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අදාලව මෙම පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අද ගම්පහ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම නියෝගය ලබා දී තිබිණි.
පැමිණිල්ලේ සඳහන්ව තිබුණේ මනුෂ නානායක්කාරගේ සොයුරා ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 40ක මුදලක් ඉල්ලා සිට ඉන් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබාගෙන එම මුදල වංචාකර ඇති බවය.
ඒ අනුව විමර්ශ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (27) සැකකරුව අත්අඩංගුවට ගැනීමට ගාල්ලට ගියේය. එහෙත් ඔහු ගාල්ලේ සිටියේ නැත. ඔහු පලාගොස් ඇති බවක් නිරීක්ෂණය වීම හේතුවෙන් සැකකරුගේ දුරකථන දත්ත පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ, ඔහු බිබිල ප්‍රදේශයේ රැඳී සිටින බවකි..
ඒ අනුව සැකකරුව ඊයෙ (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බිබිලට ගොස් අත් අඩංගුවට ගෙන කොළඹට රැගෙන පැමිණ අද ගම්පහ අධිකරණයට ඉදිරිපත් කළේය.







