එට්කා ගිවිසුමට කිසිම ආකාරයක අවසන් තීන්දුවකට එළඹි නැති බව අවධාරණය කරන්නේ යැයි විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි. එට්කා ගිවිසුමට අත්සන් කළ බවට ප්‍රචාරය යවනු ලබන්නේ බංකොලොත්වුන දේශපාලකයින් බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.
ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය සම්බන්ධව අද පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ඔහු මේ බව පැවසුවේය. ඇමතිවරයා මෙසේ ද කීවේය.
වෙළෙඳාම් සහ ආයෝජනය පිළිබඳ එකඟතාවයන් දැනට ඉහළ මට්ටමින් තියනවා. මින් පෙර අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුමක් තියනවා. ඉන්දියානු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කියලා. එහි යාවත්කාලීන කළ යුතු තත්ත්වයක් තියනවා. ගිවිසුම අලුත් කරලා ඉදිරියට ගෙනියන්න හදනවා.
ඊලඟට එට්කා ගිවිසුම… එට්කා ගිවිසුම සම්බන්ධ සාකච්ඡාවක් කාලයක් තිස්සේ තියනවා. මේ දෙරට අතර ආර්ථික සහ තාක්ෂණික කාරණා පිළිබඳ එකඟතාවයට සම්බන්ධ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න තමයි අපි කටයුතු කරලා තියෙන්නේ. එහෙම නැතිව ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයෙන් පස්සේ එට්කා ගිවිසුමට අත්සන් කරලා, එට්කා ගිවිසුම ක්‍රියාත්මක කරන්නවා වගේ කතා ඇහෙනවා… එහෙම එකක් කොහෙත්ම නෑ.
සමහර බංකොලොත් වෙච්ච දේශපාලනඥයො මම දැකක්කා තැන් තැන්වල කියනවා මේ එට්කා ගිවිසුම අත්සන් කළා. අත්සන් කරන්න යන්නේ කියලා.
එහෙම එකක නෑ. එට්කා පිළිබඳව මෙතෙක් ඇති වෙලා තියන තත්ත්වයන් තවත් සාකච්ඡාවලට භාජනය කරමින් තවත් ඉදිරියට ගෙනියන්න තමයි අපි අපේ කැමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ.
එතනදි අපි අවධාරණය කරන්න කැමතියි අපේ රටේ ආර්ථිකයට හානිදායකවන ගිවිසුම්වලට අපි කොහෙත්ම එළඹෙන්නේ නෑ. ඒක අපේ මූලික ප්‍රතිපත්තියක්.
දෙරටේම ආර්ථිය හා වෙළෙඳාමේ දියුණුව වෙනුවෙන් අප ඕනෑම වෙලාවක කටයුතු කරන්න සුදානම්. එම ස්ථාවරයේ ඉඳගෙන තමයි අපි එට්කා ගිවිසුම සම්බන්ධවත් ඒකාබද්ධ ප්‍රකාශනයට මේ කරුණු ඇතුළත් කරලා තියෙන්නේ.







