පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර නඩුවේ 11 වැනි විත්තිකරු ලෙස නම් කර සිටින කාලිබ් සමීර් නමැත්තා ප්‍රහාරය සැලසුම් කළ ආකාරය සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරියේ කළ පාපෝච්චාරණය රජයේ සාක්ෂියක් ලෙස පිළිගැනීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ ඊයේ (19) ඒකමතිකව තීරණය කළේය.
විත්තිකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා සිටියදී 2019 වසරේදී ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු පාපෝච්චාරණයක් කර තිබේ.
එම පාපෝච්චාරණය ස්වේඡාවෙන් කළ එකක් නොවන බවට නඩු විභාගයේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ත්‍රිපුද්ගල මහාධිකරණට පවසා සිටියහ. එම ප්‍රකාශය ස්වේච්ඡාවෙන් කළේ ද යන්න තීරණය කිරීමට විනිසුරු මඬුල්ල ‘වොයර් ඩයර්’ පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කළේය.
එහි තීන්දුව ප්‍රකාශ කරමින් විත්තිකරු එම පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් කර ඇති බවට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සාමාජිකයන් වන නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක, ආර්.එස්.එස්. සපුවිද ඒකමතිකව නියෝග කළේය. ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥයන් එය සාක්ෂියක් ලෙස ලකුණු කරන ලදි.
වෝයර් ඩයර් පරීක්ෂණයේ තීන්දුව සම්බන්ධයෙන් විත්තිය සෑහීමකට පත් නොවේ නම් ඇපැලක් ඉදිරිපත් කළ හැකි බවට විනිසුරු මඬුල්ල දන්වන ලදී. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපැලක් ඉදිරිපත් කරන බවට 11 වැනි විත්තිකරුගේ නීතිඥ රුෂ්ඩි හබීබ් පවසා සිටියේය.
2019 වසරේ පාස්කු ඉරු දින කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් නඩුව පවරා ඇත.
නඩුවේ 17 වැනි විත්තිකරු ලෙස නම් කර සිටි යාසීර් බාබා අබ්දුල් රවුෆ් මේ වන විට මිය ගොස් ඇත. අනෙකුත් විත්තිකරුවන් සම්බන්ධයෙන් නඩුව විභාගය සිදුවේ. එහිදී ෂැංග්‍රිලා හෝටලය හා කොච්චිකඩේ පල්ලිය ඇතුළු ප්‍රහාරය ලක්වූ ස්ථානවල සිටි ඇසින් දුටු සාක්ෂිකරුවන් ඇතුළු විශාල පිරිසක් පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දෙන ලදී.
11 වැනි විත්තිකරු වූ කාලිබ් සමීර් (අවු: 29) වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එන්.එම්. සහීඩ් අදාළ පාපෝච්චාරණය බලහත්කාරයෙන් ගත් බවට ප්‍රකාශ කළේය. එහි වලංගුභාවය පරීක්ෂා කිරීමට වෙනම පරීක්ෂණයක් පැවැත්විණි. එම පරීක්ෂණය පැවැත්වෙන අතර විදේශගත වන බව පවසා විත්තිකරු වෙනුවෙන් තවදුරටත් පෙනී නොසිටින බවට විත්තිකරුගේ නීතිඥයා අධිකරණයට දන්වන ලදී. ඒ අනුව 11 වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටිමට නීතිඥ රුෂ්ඩි හබීබ් රජයෙන් පත් කිරීම සිදුවිය.
පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා, අධිනීතිඥ ශක්ති ජාගොඩ, අධිනීතිඥ සජිත් බණ්ඩාර, අධිනීතිඥ අකිලා දල්පදාදු ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියේය. චන්දන ජයවීර – දිනමිණ







