පසුගිය වකවානුව තුළ කොළඹ අපරාධ කොට්ඨාසය තුළ සිදුවන විවාදාත්මක සිදුවීම් ගණනාවකට වගකිවයුතු බවට චෝදනා ලද කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ දී අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත් අඩංගුවට පත් වන්නේ හිටපු පොලිස්පතිවරයාගේත් ඇස් වසා බස්නාහිර හිටපු පොලිස් ප්‍රධානියෙක් සමග එක් වී ගැසූ ගේමක් නිසා බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මේ අපරාධයේ ප්‍රධාන සැකකරුවන කොළඹ අපරාධ කොට්ටාසයේ සිටි නිලධාරියෙක් මේ වනවිට රටින් පැන ගොස් විදේශයක සිටින බව ද එම ආරංචි මාර්ග අනාවරණය කරයි.
වාර්තාවන පරිදි මෙම පොලිස් නිලධාරියා අත් අඩංගුවට පත්වීමට පාදකවන අපරාධ සිදුවීම මෙසේය.
2023 අගෝස්තු මස දිනක එක්තරා පුද්ගලයෙක් කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ තමන්ගේ කෝටි 14ක් පමණ වටිනා මැණික් ගල් ප්‍රමාණයක් අතුරුදහන් බව පැමිණිලි කර ඇත. ඔහු මෙම පැමිණිල්ල සඳහා යොමුවන බව කියන්නේ ද බස්නාහිර පළාතේ එවකට සිටි ඉහළම පොලිස් නිලධාරියෙක් හරහා බව වාර්තා වේ.
මෙම පැමිණිලිකාර පුද්ගලයා තමන්ගේ මැණික් ගල් සොරකම් කළ බවට පුද්ගලයෙක් නම් කරන අතර එම පුද්ගලයා රත්නපුර මැණික් ව්‍යාපාරිකයෙකි.
පැමිණිල්ල සටහන් කරගන්නා කොළඹ අපරාධ කොට්ඨාසය මෙවැනි බරපතල වංචා පිළිබඳ විමර්ශනය කරන සීඅයිඩි ය මගහැර පැමිණිලිකරු නම් කර සැකකාර මැණික් ව්‍යාපාරිකයා වෙත ගොස් ඔහු සන්තකයේ තිබුණු මැණික්ගල් ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇත.
මෙම මැණික් ගල්වල නීත්‍යානුකූල හිමිකම තමන්ගේ බව සහතික කළ හැකි ලියකියැවිලි තිබෙන බව එම ව්‍යාපාරිකයා කියා තිබෙද්දීත් එම මැණික්ගල් බලහත්කාරයෙන් අත්පත් කරගෙන කිසිම නෛතික ක්‍රියාමාර්ගයකට නොගොස් එම මැණික්ගල් පැමිණිලි කරුට ලබා දී, රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගෙන කොළඹ තබා ඔහුට එරෙහිව මැණික් සොරකමක් පිළිබඳ චෝදනා ගොනු කර අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
එමෙන්ම මෙම විමර්ශනය සිදුකිරීමේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මැණික් සොරකම් කල බවට ද ඡෝදනා එල්ල වී ඇත.
මෙම සිද්ධියේ දී ප්‍රධානම චෝදනාවට ලක්වන කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියා මේ වනවිට රටින් පැන ගොස් යුරෝපීය රටක ජීවත් වෙමින් ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් පෙරේරා චෝදනාවට ලක් වන්නේ පැහැර ගෙන යෑම හා අන් සන්තක වස්තුවක් නීත්‍යානුකූල ක්‍රමවේදයට පිටින් බලහත්කාරයෙන් ලබා ගැනීමට ආධාර අනුබල ලබාදීම සම්බන්ධ චෝදනාවටය.
අත් අඩංගුවට පත් සැකකරු හෙට රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම නියමිතය. වැඩිදු පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබේ.







