කීර්ති ප්‍රනාන්දු –
නිෂ්පාදිත දිනය හා ඊට අදාළ තොරතුරු වෙනස් කර ආනයනික සහල් තොඟයක් වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් විසින් ඊයේ (25) අත් අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ නිෂ්පාදිත 25kg ඇසුරුම් වල අසුරා ඇති එම සහල් ඇසුරුම්වල නිෂ්පාදකයා දක්වා ඇති නිෂ්පාදිත දිනය 2022 ජනවාරි ය. නිෂ්පාදිත දිනයේ සිට වසරක් තුළ භාවිතා කිරීම කළයුතු බව ද එම නිශ්පාදනයේ නිර්දේශ කර ඇත. එසේ තිබියදී ලංකාවට එම සහල් ආනයනය කර තිබූ ව්‍යාපාරිකයා විසින් එම අසුරනවල නිෂ්පාදිත දිනය 2024 ජූනි ලෙස ඉදිරි දිනයක් යොදා වෙනත් ලේබලයක් සහිතව සහල් තොගය වෙළෙඳපලට නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
එමෙන්ම එම සහල් අසුරන වල මුද්‍රිතව තිබූ මිල ගණන් සහ බර ප්‍රමාණයන් ද ලේබල මගින් වෙනස් කර කොළඔ 14 ප්‍රදේශයේ ගබඩාවක් තුළ රහසිගතව සඟවා තබාගෙන ඉදිරි උත්සව සමය තුළදී වෙළෙඳපළට බෙදාහැරීමට සැලසුම් කොට ඇති බව අනාවරණය වී ඇත.
මෙම වැටලීමේදී නිෂ්පාදිත දිනය වෙනස්කල සහල් සහිත 25kg ඇසුරුම් 717ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගනු ලැබ ඇති අතර චූදිතයන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට නියමිතය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙම උත්සව සමය තුල, දිවයිනපුරා විශේෂ වැටලීම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට ඇති අතර එහිදී වෙළඳුන් විසින් සිදුකරන මෙවැනි වංචනික ක්‍රියා සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරනු ඇත.
මෙවැනි වෙළෙදුන් සම්බන්ධව තොරතුරු 1977 කෙටි දුරකථන අංකයට දන්වන ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.







