සුමිත් පොතුපිටිය –
අනියම් බිරියක් නිවසට රැගෙන විත් ඇය හා ජීවත්වෙමින් බලහත්කාරයෙන් විවාහක බිරිය ද නිවසේ රඳවාගෙන සිටි සැමියාගේ වද බන්ධනවලින් බේරී නිවසින් පලා යන්නට උත්සාහ කළ 29 හැවිරිදි තරුණ කාන්තාවක් නිවසේ තුන්වන මහලින් වැටී තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.
රෝහල් ගතකර ඇති කාන්තාවගේ සැමියා ඇයව හැර දමා අනියම් බිරිඳ සමග එම තෙමහල් ගොඩනැගිල්ලේ ඉහළම මහලේ මාස තුනක පමණ සිට පදිංචිව සිට ඇත. එම පුද්ගලයාගේ නීත්‍යානුකූල බිරිය වු අනතුරට පත් කාන්තාව හෝමාගම ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලක රාජකාරි කරමින් සිට ඇති අතර දින දෙකකට පෙර තවත් පුද්ගලයෙකු සමග මෝටර් රථයකින් බලහත්කාරයෙන් ඇයව රැගෙන විත් නිවසේ රදවාගෙන සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය කීය.
රෝහල් ගතකර ඇති කාන්තාව පෙරේදා රාත්‍රි රෙදි පටිවලින් සැකසූ ලනුවක් ආධාරයෙන් ඇයව රඳවා සිටි ඉහල මහලේ කාමරයක ජනේලයකින් පහලට බැස පලා යන්නට උත්සාහ කිරීමේදී ඇද වැටී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව ඇතැයිද පොලිසිය කීය.
තුවාල ලැබූ කාන්තාව කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරින් පරීක්ෂණ සිදු සිදුකරයි .
සැකකාර සැමියා සහ ඔහුගේ අනියම් බිරිය ද , තුවාල ලබූ කාන්තාව මෝටර් රථයක නංවාගෙන පැමිණි අනෙක් පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක ගේ උපදෙස් පරිදි අපරාධ අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති .







