මෙරට පාර්ලිමේන්තුවේ වැඩිම කාන්තා නියෝජනය මෙම පාර්ලිමේන්තුවෙන් වාර්තා වුනේය. මැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට පත්වන ජනතා නියෝජිතයින් 196 දෙනා අතරින් පාර්ලිමේන්තුවට පත් වී ඇති කාන්තාවන් ගණන 21 දෙනෙකි. නීතිඥ වරියන් 09ක් ඇතුළත් මෙම මන්ත්‍රීවරියන් සියලු දෙනාම විවිධ ක්ෂේත්රවල වෘත්තීය භාවයක් සහිත නීති සම්පාදනය සඳහා ප්‍රාමාණික දායකත්වයක් සැපයිය හැකි පිරිසකි.
මින් පෙර මෙරට පාර්ලිමේන්තුවට එක්වර පත්ව ඇති වැඩිම මන්ත්‍රීවරියන් සංඛ්‍යාව 13කි. කවදාවත් පර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට 6 ඉක්මවා නොතිබිණි.
මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ කාන්තාවන් 21 දෙනා අතුරින් 19ක්ම ජාතික ජන බලවේගයෙන් තරග කළ කාන්තාවන්ය. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කොළඹ දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායිකාව වූවාය. ඇය ලබන මනාප ඡන්ද ප්‍රමාණය 6,55,299කි. එය ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ ජනතා නියෝජිතයෙක් දෙවැනියට ලබා ගන්නා වැඩිම මනාප සංඛ්‍යාවය.
කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, මෙන්ම සමන්මලී ගුණසිංහ ද පාර්ලිමේන්තු වරම් දිනා ගත්හ. ආචාර්ය කෞෂල්‍යා මනාප ඡන්ද 80 814කි. සමන්මලී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යා විශේෂ උපාධිධාරිනියකි. ඇය මනාප 59658ක් ලබා ගත්තාය.
ජාතික ජන බලවේගයට කළුතරින් තරග වැදුන නීතිඥ නිලන්ති කොට්ටහච්චි, ඔෂානි උමංගා ද පාර්ලිමේන්තුවට තේරී පත්වුහ.
නීතිඥ කොට්ටහච්චි මනාප 1,31375ක් ලැබුවාය. කළුතර මනාප ලයිස්තුවේ ඇය දෙවැනි තැනය. ඔෂාන් උමංගා ව්‍යවසායකයෙකි. 69932ක මනාප ඇය ලැබුවාය.
ගම්පහින් තරග වැදුන හේමාලි සුජීවා ගුරුවරියකි. ඇය මනාප 66 737ක් ලබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය. ඇය තේරි පත්වන්නේත් ජාතික ජන බලවේගයෙනි.
සාගරිකා අතාවුද නීතිඥවරියකි. ඇය තරග වැදුනේ කෑගල්ල දිස්ත්‍රික්කයෙනි. ඇය මනාප 59019ක් ලබා ගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.
රත්නපුරයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුන නීතිඥ නිලූෂා ලක්මාලි ද තරග වැදුනේ ජාතික ජන බලවේගයෙනි. ඇය ලබා ගත් මනාප සංඛ්‍යාව 48791කි.
නීතිඥ තුෂාරි ජයසිංහ තරග වැදුනේ ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් ලයිස්තුවෙනි. 58223ක් මනාප ලබාගෙන තුෂාරි ජයසිංහ පාර්ලිමේන්තුවට තේරි පත් වූවාය.
නුවර එළියෙන් කාන්තාවන් දෙදෙනෙක් මෙවර පාර්ලිමේන්තුවට පැමිණියහ. ඒ ජාතික ජන බලවේගයෙන් නුවර එළියෙන් තරග වැදුන නීතිඥ අනුෂ්කා තිලකරත්න සහ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්විය. නීතිඥ අනුෂ්කා මනාප 34 035ක් ලබා ගත්තාය. ක්රිෂ්නණ කලෙයිචෙල්වි සමාජ ක්‍රියාකාරිනියකි. ඇය ලැබූ මනාප ප්‍රමාණය 33,346ක් ලැබුවාය.
දීප්ති වාසලගේ ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වන්නීය. ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධි ධාරිනියකි. ඇය මනාප 47482ක් ලැබුවාය.
නීතිඥ හසාරා නයනතාරා ප්‍රේමතිලක ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වන්නේ ගාල්ලෙනි. ඇය මනාප 82058ක් ලැබුවාය.
ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කළ ප්‍රබලම ක්‍රියාධාරිනියක වූයේ සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ය. සරෝජා ගුරුවරියකි. ඇය 48379ක් මනාප ලැබුවාය.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරගකළ අම්බිගා සෙල්වම් තරුණියකි. ඇය වතුකරයේ වතු කම්කරු පවුලක උපන් දැරියකව හැදී වැඩුනාය. වතුකරයේ සම්ප්‍රදායික දේශපාලන නායකත්වය බියගන්වමින් ඇය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වතු කම්කරු පවුල ඉපදී වතුකරයේ හැදී වැඩුන කාන්තාවක ලෙස පාර්ලිමේන්තුවට පත් වන්නේ මනාප ඡන්ද 58201ක් ලබා ගනිමිනි. ඇය රක්ෂණ ක්ෂේත්රයේ රැකියාවක නිරතවී සිටි තරුණියකි.
චතුරි ගංගානි ගුරුවරියකි. ඇය ජාතික ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබේ. ඇය මනාප 42930ක් ලැබුවාය.
ගීතා රත්නකුමාරි නීතිඥවරියකි. ජාතික ජන බලවේගයෙන් තරග වැදි ගීතා තේරී පත් වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. ඇය ලබන මනාප සංඛ්‍යාව
84414කි.
පුත්තලම දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය නියෝජනය කළ හිරුණි විජේසිංහ ද නීතිඥවරියකි. 44057ක් මනාප ලබමින් ඇය පාර්ලිමේන්තුවට තේරී පත්වුනාය.
මුතුමැනිකේ රත්වත්තේ ජාතික ජන බලවේගයට තරග වදින්නේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙනි. ඇය හිටපු යුද හමුදා නිලධාරිනියකි. 32145ක මනාපයක් ලබාගෙන ඇය දිගාමඩුල්ලෙන් පාර්ලිමේන්තුවට යන්නීය.
පාර්ලිමේන්තුවට පත්වන ඉතිරි කාන්තාවන් දෙදෙනා සමගි ජන බලවේගයෙනි. මහනුවරින් පත්වන චමින්ද්‍රානි කිරිඇල්ල නීතිඥවරියකි. ඇය ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණිය ය. ලක්ෂ්මන් කිරිඇල්ල දශක තුනක දේශපාලනයෙන් සමුගන්නා බව කියමින් ඔහුගේ දිගුව ලෙස චමින්ද්‍රානි කිරිඇල්ල නම් කර තිබිණි. චමින්ද්‍රානි මනාප 30780ක් ලැබුවාය.
මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ප්‍රබල දේශපාලනයක යෙදුන රෝහිණී මෙරවත් පාර්ලිමේන්තුවට තේරි පත්වන්නීය. ඒ මනාප 27048ක් සහිතවය. ඇය ද වෘත්තියෙන් ගුරුවරියකි.







