අන්තර්ජාලය හරහා කොරියානු ජාතිකයකුගෙන් රුපියල් කෝටි 30කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වේව්ටෙක් නමැති සමාගමේ අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කළ නීතිඥවරියක ඇතුළු දෙදෙනකු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ
ඊයේ (12දා) නියෝග කළේය.
සැකකාර නීතිඥවරිය හා දිනේෂ් පෙරේරා නමැති සමාගම් අධ්යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස හා ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා රුපියල් 50,000 බැගින් වූ මුදල් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප මත එම සැකකරුවන් මුදාහැරීමට නියෝග කළේය.
එම සිද්ධිය හා මූල්‍ය ගනුදෙනුව සම්බන්ධයෙන් මූල්‍ය වංචාවට හසුවූයේ යැයි කියන ව්‍යාපාරිකයා ශ්‍රී ලංකාවේ පිහිටි කිසිම පොලිසියකට හෝ අපරාධ විමර්ශන අංශයකට පැමිණිල්ලක් සිදුකර නොමැති බවත් එකී සැකකාර අධ්‍යක්ෂවරුන්ගේ ගිණුම්වලට හෝ සමාගමේ ගිණුම්වලට කිසිදු මුදලක් බැරවී නොමැති බවත් අධිකරණයට පෙන්වාදුන් විත්තියේ නීතිඥවරු, විමර්ශන නිලධාරීන් නිසි ලෙස විමර්ශනයක් සිදුකිරීමකින් තොරව එම කාර්යාලය වටලා එහි සිටි සිය සේවාදායකයන් ඇතුළු 59 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි අධිකරණයට පැවැසූහ.
මෙරට කොරියානු තානාපති කාර්යාලය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය පසුගිය 8 වැනිදා කොළඹ හැව්ලොක් පාරේ පිහිටි සුපිරි නිවාසයක පවත්වාගෙන ගිය පෙරකී සමාගම වටලා එහි සිටි ගර්භණී කාන්තාවන් දෙදෙනකු ඇතුළු කාන්තාවන් 23 දෙනකු හා සෙසු සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි. පෙර කී සැකකාර නීතිඥවරිය හා සමාගම් කළමනාකරු හැර සෙසු සියලුදෙනා ඇප මත මුදාහැරීමට අධිකරණය නියම කොට තිබිණි (දිවයින – ඒ.ජේ.ඒ. අබේනායක)







