ත්‍රිපෝෂ ආයතනය කිසිසේත් විකුණන්නට හෝ ඒකාබද්ධ කරන්නට කිසිම සූදානමක් නැති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඔහු කීවේ මේ ප්‍රචාරය වන්නේ හිතා මතා ගොඩනැගූ බොරුවක් බවය. සිදුවී ඇත්තේ කුමක්දැයි ජනාධිපති අනුර කුමාර දිසානායක දෙරණ 360 වැඩසටහනට එක් වෙමින් ඊයේ ( 11) පූර්ණ ලෙස පැහැදිලි කළේය. ජනාධිපතිවරයා කීවේ මෙවැන්නකි.
ත්‍රිපෝෂ කර්මාන්ත ආයතනය ඇතුළු ආයතන ගණනාවක් මුදල් අමාත්‍යාංශය යටතෙ වැටිලා තිබුණා. ඒ කිසිවක් මුදල් අමාත්‍යාංශයේ විෂයයන් නෙමෙයි. හැබැයි ඒක මුදල් අමාත්‍යාංශය යටතෙ වැටෙන්නේ ඈවර කිරීම සහ ඒකබද්ධ කිරීම සඳහා තිබෙන ආයතන ලෙස. අපි එනකොට මුදල් අමාත්‍යාංශයට ඔය ඔය ලේබලය යටතේ පැවරිලා තිබුණා. නැතිනම් ත්‍රිපෝෂ එක මුදල් අමාත්‍යාංශයේ විෂයක් නෙමෙයි.
මුදල් අමාත්‍යාංශයට මේ ආයතන වැටිලා තිබුණේ ඈවර කිරීම සහ ඒකාබද්ධ කිරීම කියන ලේබලය යටතේ. අපි ඕක වෙනස් කරන්න ගියෙ නෑ. අපට අමාත්‍යාංශ 28ක් තිබුණා. ඒක 15 දක්වා අඩු කළා. මුදල් අමාත්‍යාංශ විෂයනුත් මහජන ආරක්ෂක අමාත්‍යාංශ විෂයනුත්, විදෙස් කටයුතු අමාත්‍යාංශ විෂයනුත් වෙනස් කරන්නේ නැතිව අපි එහෙමම ගැසට් කළා.
එළඹෙන අමාත්‍යාංශ සංශෝධනයෙ දි ත්‍රිපෝෂ ආයතනය යන්න ඕන කොතැනද, අනෙකුත් ආයතන යන්න ඕන කොතැන ද කියලා ගැසට් කරනවා. ඒ නිසා මේක තාවකාලික එකක්. අපි වහනවද ත්‍රිපෝෂ ආයතනය.. මට ඒකයි අහන්න තියෙන්නේ. අපේ වැඩපිළිවෙළේ ප්‍රධානම දේ තමයි ගැබිනි මාතාවන් සහ දරුවන්ට පෝෂණ අවශ්‍යතාවය සැපයීම සඳහා අවශ්‍යවන සහාය ලබා දීම. ඒක ආණ්ඩුවෙ කාර්යයක් කියලා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල අපි ලියලා තියනවා. ප්‍රතිපත්තියක් ලෙස පමණක් නෙමෙයි කළ යුතු කාර්යයක් ලෙස අපි තේරුම් අරන් තියනවා.
ඒ නිසා අපේ ආණ්ඩුවක් ත්‍රිපෝෂ ආයතනය වහන්නෙත් නෑ… විකුණන්නෙත් නෑ…ගැබිණි මාතාවන්ට සහ දරුවන්ට පෝෂ්‍ය ජනක ආහාරයක් ලබා දීම අපේ වගකීමක් හැටියට අපි ඉටු කරනවා.







