මනම්පිටිය නිමල් ජයරත්න –
කරුණාකර රාජකාරිය කරන්න පරිසරයක් හදා දෙන්න… දඩමස් අල්ලපු දා සිට දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස්මත හෙනානිගල වනජීවී නිලධාරීන්ටවන ගැහැට පොලිස්පතිට දන්වන්නැයි වනජීවී නිලධාරියා නැගෙනහිර පළාත් වනජීවී ලොක්කාට ලියා දන්වයි…
ඌරු මස් හා ගෝන මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී දෙහිඅත්තකණ්ඩිය පොලිස් නිලධාරියෙකු සිවිල් ආරක්ෂක නිලධාරීයෙකු සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමත් සමග දෙහිඅත්තකන්ඩිය පොලිසියේ ඇතැම් රථවාහන නිලධාරින් වනජීව නිලධාරීන්ට බලපෑම් හා රාජකාරියට බාධා එල්ල කරන බවත්, ඒ අනීතික කටයුත්ත නතර කරන ලෙසත් දන්වා මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හෙනානිගල අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් නැගෙනහිර පළාත් වනජීවී සහකාර අධ්යක්ෂවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ.
එම ලිපියෙන් ඔහු ඉල්ලා සිටින්නේ මේ අනීතික සහ අශිෂ්ට හැසිරීම පිළිබඳව වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා සහ පොලිස් දෙපාර්තමේන්තුව දැනුවත් කර මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ වනසතුන් ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ගන්නා පියවරට අවශ්‍ය රාජකාරි ආවරණය සලසා දෙන ලෙසය.
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ දඩයම්කර ඌරු මස් කිලෝ 17 සහ ගෝන මස් කිලෝ 47 ක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මැදගම මුවගම්මන ප්‍රදේශයේදී සිවිල් ආරක්ෂක භටයකු, පොලිස් නිලධාරියකු, සහ තවත් පුද්ගලයකු, ඔක්තෝබර් 10 වෙනිදා හේනානිගල වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.
එහිදී වෑන් රථයේ හිමිකරු වු දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ පොලිස් සැරයන්වරයකු බව කියන අයෙකු වනජීවී නිලධාරින්ගේ අත්අඩංගුවෙන් මිදී පලාගිය අතර ඔහු දින 14 කට පසු ඉකුත් 25 වෙනිදා නීතිඥවරුන් කිහිපදෙනෙකු මගින් දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූයේය, අනතුරුව එම සැකකරුවන් තිදෙනාම දෙසැම්බර් 06 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල විසින් නියෝග කරනු ලැබීය.
මෙම සිද්ධිය පදනම් කරගනිමින් දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස්මත ඇතැම් රථ වාහන පොලිස් නිලධාරීන් වනජීවී නිලධාරීන්ට මෙන්ම එම නඩුවේ ප්‍රධාන විමර්ශනය කරන තමන්ටද බලපෑම් එල්ල වන අයුරින් ක්‍රියා කරන බවත්, මෙය 2015 අංක 14 දරන අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතට පටහැනි බවත්, එම පනත ක්‍රියාත්මක කිරීමේ පොලිස් නිලධාරින් එලෙස කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවත් කුමාරසිරි විජේකෝන් සිය ලිපියෙන් දන්වයි.
මාදුරුඔය ජාතික වනෝද්‍යානය මෙන්ම අවට රක්ෂිතයන්හි ජීවත් වන සතා සිවු පාවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේදී තම වනජීවීන් නිලධාරීන් විවිධ අසීරුතා මැද රාජකාරී කරන බවත්, එම සතුන් ආරක්ෂා කිරීම නීති හා සාමය රකින පොලිස් නිලධාරීන්ගේ ද වගකීමක් වන නමුත් මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ වනජීවී ජාවාරම්කරුවන්ට පොලිස් නිලධාරින් අනවශ්‍ය උත්තේජනයක් ලබාදෙන බවත් ඔහු පෙන්වා දෙයි. අද වතින තත්ත්වය තුළ වෘක්ෂලතා ආඥා පනතෙන් පැවරී ඇති සතුන් ආරක්ෂා කිරීමේ වගකීමට පොලිස් නිලධාරින් කරන්නේ අකුල් හෙලීමක් බව කුමාරසිරි විජයකෝන් යැවූ ලිපියේ සඳහන්වේ.
මාදුරුඔය හේනානිගල අඩවි ආරක්ෂ කුමාසිරි විජේකෝන් අද (05) මාදුරුඔය උද්‍යාන භාරකරුටත්, අම්පාර වනජීවී කලාප කාර්යායට මෙන්ම නැගෙනහිර වනජීවී සහකාර අධ්යක්ෂවරයාට ලිඛිතව මේ බව දන්වා තිබේ.







