ඊළඟ අය වැය සම්මත වන තෙක් ගත වන මාස හතරක පමණ කාලය සදහා අතුරු සම්මත ගිණුමක් මඟින් අරමුදල් සම්මත කර ගැනීමට මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මේ වනවිට පියවර ගනිමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.
මුදල් අමාත්‍යංශයේ නිලධාරියකු උපුටා දක්වමින් එම පුවත් පත වාර්තා කරන්නේ මහ මැතිවරණයෙන් පසු පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු සතිය තුළදී ම බොහෝ දුරට මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කර පාර්ලිමේතුවේ අනුමැතිය ලබා ගැනීමට ඉඩ පවතින බවයි.
2025 වසරේ මුදල් වර්ෂය ආරම්භ වන මාර්තු මස 31 වැනිදා තෙක් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම් ඇතුළු මුදල් අවශ්‍යතා සඳහා මෙසේ අතුරු සම්මත ගිණුම මඟින් මුදල් වෙන් කරවා ගැනීමට රජය බලාපොරොත්තු වන අතර පවතින ආර්ථික වර්ධනය මත රාජ්‍ය සෙවකයන්ට ලබන වසරේ ජනවාරි මාසයේ සිට 6500ත් 7500ත් අතර වැටුප් වැඩි කිරීමක් සඳහා ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව මත රාජ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව සඳහන් වේ. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමටද නියමිත බව වාර්තා වේ. යම් හෙයකින් රුපියල් 6500ත් 7500ත් සීමාව ඉක්මවමින් වැටුප් වැඩි කිරීම ට සිදුවුවහොත් වැට් බද්ද අවම වශයෙන් සියයට 1කින් හෝ 2කින් වැඩි කිරීමටද සිදුවනු ඇති බව නිලධාරීන් විසින් පෙන්වා දෙනු ලැබ ඇත.
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් සතියකට පසු එනම් නොවැම්බර් 21 වැනි දින නව රජයේ පළමු පාර්ලිමේන්තු සැසිය පැවැත්වෙනු ඇත. බොහෝ දුරට ඊට පසු සතියේ මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමෙන්තුවේ විවාදයට ලක් කර සමම්මත කර ගැනීමට ඉඩ ඇති බව සඳහන් වේ.







