උතුරු මුහුදේ දැනට පවතින ධීවර ගැටළුවලදී ශ්‍රී ලාංකීය ධීවර ප්‍රජාවගේ අවශ්‍යතා සුරැකීමට තමන් සෑම විටම කැපවී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා වෙත දන්වා ඇත.
ජනාධිපතිවරයා මේ බව ඉන්දීය මහකොමසාරිස්වරයා වෙත දන්වන්නේ අද (01 පස්වරුවේ ඉන්දීය මහකොමසාරිස්වරයා සහ ජනාධිපතිවරයා අතර ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුව අතරතුරය.
දෙරටේම ධීවර ප්‍රජාවගේ අවශ්‍යතා අවබෝධ කරගනිමින් සහයෝගීතා වැඩසටහනක් ඔස්සේ දීර්ඝකාලීන විසඳුමකට එළැඹීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශවය අතර කළ සාකච්ඡාව අතර දී ජනාධිපතිවරයා ඉන්දිය මහකොමසාරිස්ට ශ්‍රී ලාංකික ධීවර ප්‍රජාවගේ අයිතිය රටක් ලෙස සුරැකීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබේ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධව මෙන්ම ඉන්දියානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් සිදු කිරීමත්, එම ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටලු සහ අභියෝග පිළිබඳත් මෙම අවස්ථාවේ දී සාකච්ඡා කෙරුන බව ජනාධිපති මාධ්‍ය අංශය දන්වා ඇත.
ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සහ ඩිජිටල්කරණ වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ ද මෙම හමුවට එක්ව සිටියේය.





