ජයකාන්ත ලියනගේ – බළපිටිය –
රුපියල් මිලියන 50 ක මුදලකට විකිණීමට සූදානම් කර තිබූ මහ මුහුදේ රත්තරන් ලෙසින් හදුන්වන අම්බර හෙවත් තල්මස් වමනය කිලෝ ග්‍රෑම් 17 යි ග්‍රෑම් 234 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් සහ සැකකාරියක් පානදුර, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් ඊයේ (30) ඇල්පිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් ඊයේ සවස ඇල්පිටිය මහේස්ත්‍රාත් මධුෂිකා වාසලමුදලි වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් විසි පන්දහස (25000/-) බැගින් දඩ නියම කළාය. අත් අඩංගුවට ගන්නා ලද අම්බර තොගය රාජ සන්තක කර විනාශ කිරීමටද මහේස්ත්‍රාත්වරිය මෙහිදී වැඩි දුරටත් නියෝග කළාය.
මෙසේ දඩ නියම කරන ලද්දේ නො. 302/3, සුදත් කරුණාතිලක මාවත, පූජා ගල්ලෙන, ඇල්පිටිය ලිපිනයේ පදිංචි මහගොඩගේ රසික පුෂ්ප කුමාර (41) සහ මානානහේන, තලගස්පේ, ඇල්පිටිය ලිපිනයේ පදිංචි කළුතන්ත්‍රී පටබැදි සුරංගි ද සිල්වා (36) නැමැති දෙදෙනාටය.

මෙයින් සැකකරු සන්තකයේ තිබී අම්බර ග්‍රෑම් 5664 ක් සහ සැකකාරිය සන්තකයේ තිබී අම්බර ග්‍රෑම් 11570 ක් සොයා ගන්න ලද බව පානදුර, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි. එම බළකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සිරිවර්ධනට ලැබුණ තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර සැකකරුවන් සමග අම්බර තොගය අත් අඩංගුවට ගෙන තිබේ.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 02 වන උප ලේඛනයට අනුව තල්මසා නම් කර ඇත්තේ ආරක්ෂිත සත්ත්වයකු ලෙස බැවින් එම සත්ත්වයාගේ සිරුරේ කොටස් ළඟ තබා ගැනීම මෙන්ම විකිණීමද තහනම් බව වලාන මධ්‍යම දූෂණ මර්දන බළකායේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.
මුහුදු දඩයක්කරුවන් විසින් මෙරට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා එම සතුන්ගේ තල්ලේ සහ උදරයේ ඇති අම්බර ලබාගෙන විදේශිකයන්ට රුපියල් කෝටි ගණනින් අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බවද එවන් මුහුදු කොල්ලකරුවන්ගෙන් ලබා ගන්නා ලද අම්බර තොගයක් මෙසේ විකිණීම සදහා සූදානම් කර තිබියදි අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
ලෝකයේ මිල අධිකම සුවඳ විලවුන් නිෂ්පාදනයට ද අම්බර යොදා ගන්නා බවත් ඒ නිසාම ඉහළ වටිනාකමක් අම්බරවලට ලැබී තිබේ. අම්බර ලිංගික ශක්තිය වැඩි කරවන්නක් ලෙස අරාබි ජාතිකයන් විශ්වාස කරන බවත් ඒ නිසාම ඔවුන් වැඩි වශයෙන් අම්බර ආහාරයට ගන්නා බවත් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි. අම්බර මඟින් මිනිසුන්ට වාසනාව, ධනය මෙන්ම බලයද ලැබෙන බවට සමාජ මතයක් ප්‍රචලිත වි ඇති බව ද එම බළකාය වැඩි දුරටත් සඳහන් කරයි. ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් පිටිගල පොලීසිය වෙත භාර දීමටද කටයුතු කර තිබේ.
විශාල ප්‍රමාණයේ ඩොල්ෆින් විශේෂ තල්මසුන් ලෙස හදුන්වන බවත් ලොව පුරා තල්මසුන් විශේෂ පනහකට අධික සංඛාවක් හදුනාගෙන තිබෙන බවත් මුහුදු සත්ව පර්යේෂකයින් සදහන් කරයි. මෙරට මුහුදු තීරයේ ජීවත් වන්නේ එයින් විශේෂ දොලහක් පමණක් බවත් එයින් නිල් තල්මසා, හම්ප්ක්බැක් තල්මසා, ස්පර්ම් තල්මසා යන විශේෂ බහුලව දක්නට ලැබෙන බවත් ඔවුන් සදහන් කරයි. තල්මසාගේ ආහාර ජීර්ණ පද්ධතිය තුල නිපදවෙන තල්මස් වමනය නැතහොත් අම්බර ජීවවිද්‍යාත්මකව ඇම්බර්ග්‍රීස් ලෙසද හදුන්වයි.
අම්බර අදුරු පැහැ, කළු පැහැ හෝ අළු පැහැයෙන් මෙන්ම කහ පැහැයට හුරු අළු පැහැයෙන්ද යුක්තය. මේවා මතුපිටින් ඉටි වැනි ස්වරූපයක් ගන්නා ගිනිගන්නා සුළු දව්‍යයකි. තල්මසුන් ආහාරයට ගන්නා ඉස්සන්, දැල්ලන්, කකුළුවන් වැනි සතුන්ගේ නොදිරන කොටස් තල්මසාගේ කුසේ හෝ තල්ලේ තැන්පත් වන අතර ආහාර ජීරණයේ වෙනස් කම් අනුව ඒවා වමනය ලෙස පිටවේ. මෙම වමනය මුහුදු ජලය සමග මිශ්‍ර වී ඝන බවට පත් වූ විට අම්බර ලෙස හදුන්වයි.
පානදුර, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සිරිවර්ධන, පොලිස් සැරයන් පුෂ්පකුමාර (51068) වැටලීම සිදුකර සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබෙන අතර පිටිගල පොලිස් ස්තානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන වික්‍රමසිංහගේ මෙහෙයවීම මත පොලිස් කොස්තාපල් තරිදු වසන්ත (100702) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.







