සූරියවැව නුවන් ජයසේකර –
කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයා ඇතුළු තිදෙනෙකු විසින් කතරගම නාගහවීදියේ පිහිටුවා තිබූ ජාතික ජන බලවේගයේ මැතිවරණ කාර්යාලය අද (25) අළුයම කඩා විනාශ කර දමා ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කතරගම පොලිසිය කියයි.
කතරගම, නාගහවීදිය, සමෘර්ධි මාවත ලිපිනයේ පදිංචි 44 හැවිරිදි පිංචාබදුගේ ප්‍රෙඩී සිල්වා නැමති අය විසින් කතරගම පොලිසියට මෙම පැමිණිල්ල සිදුකර තිබේ.
ජාතික ජන බලවේගයට සහාය දැක්වීම සදහා තමන්ගේ නිවස ඉදිරිපිට මැතිවරණ කාර්යාලයක් ඉදිකර තිබු බවත්, අළුයම 1.30ට පමණ කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයා වන චානක අමිල් රංගන හා තවත් තිදෙනෙකු කාර් රථයකින් පැමිණ කුණු හරුපයෙන් බැණ වැදී කාර්යාලය සකස් කර තිබූ උණ බට කඩා දමා පිටව ගිය බවත් පැමිණිලේ දක්වා තිබේ.
මෙම කාර්යාලය ඉදිකිරීමෙන් පසු පසුගිය 22 දිනද සිය නිවස අසලට පැමිණ දින දෙකක් ඇතුළත මෙම කාර්යාලය කඩා ඉවත් කරන ලෙසටත්,එළෙස ඉවත් නොකලොත් කාර්යාලයට ගිනි තබන බවටත් සභාපතිවරයා තමන්ට තර්ජනය කල බවත් පැමිණිලිකරු සඳහන් කර ඇත.
හිටපු සභාපති වරයාගේ බිරිද පොලිසියේ වැඩ කරන නිසා තමාටද මේ සම්බන්ධයෙන් බියක් පවතින බවත්, එබැවින් කඩිනමින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසත් පැමිණිලි කරු පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.







