අරුගම්බේ ප්‍රදේශයට එල්ල වී ඇති ආරක්ෂක තර්ජනය පිළිබඳව ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයට පදනම වි ඇත්තේ අරුගම්බේ ප්‍රදේශයේ ඇති ඊශ්‍රයාල ජාතිකයින් විසින් ස්ථාපිත ගොඩනැගිල්ලට සහ ඊශ්‍රයාල ජාතිකයින් ඉලක්ක කරගෙන එල්ල කළ හැකි ප්‍රහාරයක් ගැන වූ බුද්ධි තොරතුරක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව අද මාධ්‍යයට පැවසුවේය.
දින කීපයකට පෙර ලැබුනු මෙම බුද්ධි තොතුර මත ක්‍රියාත්මක වී ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි ලෙස තහවුරු කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
“අරුගම්බේ ප්‍රදේශයෙ තියනවා ඊශ්‍රයාල ජාතිකයින් විසින් ස්ථාපිත කරන ලද ගොඩනැගිල්ලක්. ශාලාවක් වැනි ගොඩනැගිල්ලක්. බොහෝ විට ඊශ්‍රයාල ජාතිකයින්ට මෙම අරුගම්බේ ප්‍රදේශය ඔවුන්ගේ ආකර්ශනීය ප්‍රදේශයක්. ඔවුන් මේ ප්‍රදේශයට අතිශයින් ප්‍රිය වෙන්නේ පොතුවිල් සහ ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රකට සර්ෆින් ක්‍රීඩාවත් එක්ක.
ඒ නිසා තම වෙන්වූ ස්ථානයක් ඔවුන් හදාගෙන තියනවා. ඒ ඊශ්‍රයාල ජාතිකයින් වැඩිපුර මේ ප්‍රදේශයේ ගැවසෙන නිසා.
පසුගිය දිනවල විවිධ තොරතුරු ලැබිලා තිබුණා ඒ ඊශ්‍රයාල ජාතිකයින්ට යම් අනතුරක් වෙන්න ඉඩ තියනවා කියන කාරණය.
මේ නිසා පොලිස්පතිවරයාගේ නියෝගය අනුව නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අවශ්‍ය ආරක්ෂක පියවර ගෙන තිබුණා. මාර්ග බාධක යොදලා විටින් විට අවශ්‍ය පුද්ගලයින් පරික්ෂා කිරීම් ක්‍රියාත්මක කළා. එය පසුගිය කාලසීමාව තුළ පැවති තත්ත්වයක්.
අද දින තුළත් ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය එම ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් සලසලා තියනවා. නාවික හමුදාව යුද හමුදාව නිශ්චිත තැන්වල ස්ථාපිත කරලා තියනවා. බුද්ධි අංශ නිලධාරීන් යොදවලා එම ප්‍රදේශයේ ආරක්ෂාව සම්පූර්ණයෙන් සලසලා තියෙන්නේ.
මේ ආකාරයට අපට යම් කිසි තොරතුරක් ලැබෙනවා නම් අනිවාර්යයෙන් ක්‍රියාමාර්ග ගන්නවා. ඒ නිසා තමයි පොලිස් ස්ථානයවලට අවශ්‍ය උපදෙස් ලබා දී අරුගම්බ ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක් සලසලා තිබෙන්නේ.
ඒ තොරතුර සම්බන්ධව තමයි ඇමරිකානු තානාපති කාර්යාලය මේ ආරක්ෂඛ නිවේදනය නිකුත් කරලා ඇත්තෙ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.







